සිංහල සිනමාවේ ප්රවීන සටන් නළුවෙකු රංගනවේදියකු සටන් අධ්යක්ෂවරයෙකු වූ ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබූ අතර ඔහු අද (29) අලුයම එහිදී ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
රුහුණු කුමාරි චිත්රපටයෙන් සිනමාවට පිවිසි ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු හැත්තෑව දශකයේ සිංහල සිනමාව වඩාත් වර්ණවත් කිරීම සඳහා දායක වුණු නළුවන් අතර කැපී පෙනෙයි. ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්රපට 100 කට පමණ රංගනයෙන් ද දායක වී තිබේ. විටෙක වීරයා මෙන්ම විටෙක දුෂ්ඨයා ද වූ ඇලෙක්සැන්ඩර් මහතා හාරලක්ෂේ , ඇගේ ආදර කථාව, ශ්රී මදාරා , සරදියෙල්ගේ පුතා, පස මිතුරෝ, යකඩයා, ක්රිස්තු චරිතය, හිතුවොත් හිතුවාමයි වැනි චිත්රපට වල දක්ෂ නළුවකු ලෙස කැපී පෙනිණ.
කොටහේනේ උපන් ඇලෙක්සැන්ඩර් 1961 වසරේ දී පොදු රාජ්ය මණ්ඩල මල්ලව පොර තරගාවලියේ රන් පදක්කම් ලාභියකු වූ අතර 1964 වසරේ ටෝකියෝ ඔලිම්පික් උලෙළ ද නියෝජනය කළේය. 1969 වසරේ සිට දිගු කලක්ම ඔහු අපරාජිත මල්ලව පොර ශූරයකු ලෙස නමක් දිනා සිටියේය.
