ලෝකය පුරා වාර්තා වූ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව අද (27) දිනයේ දී මිලියන 3 ඉක්මවා ගියා. එම ආසාදිත සංඛ්‍යාවෙන් 989,838ක්ම ඇමරිකාවෙන් වාර්තා වේ. දැනට ලොව පුරා සක්‍රීය ආසාදිතයින් 1,920,873ක් වාර්තා වන අතර සුවය ලැබූ රෝගින් ගණන 889,250කි. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 208,073ක් වේ.
දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ඇ.එ.ජ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මිලියනයට ආසන්න වෙමින් පවතින අතර වෛරසය හේතුවෙන් ඇ.එ.ජ පුද්ගලයින් 55,497ක් ජීවිතක්ෂයට පත් වී ඇත.
ඇ.එ.ජ පසුව වැඩිම කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර එම ගණන 229,422ක් වන අතර එයින් 85,069ක් ආසාදිත තත්ත්වයේ පසුවේ. ස්පාඤ්ඤයේ පුද්ගලයින් 23,521ක් වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ. ස්පාඤ්ඤයේ මේ වන විට පනවා තිබූ දැඩි නීති රීති ලිහිල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබූ අතර ඊයේ (27) දිනයේ දී එරට වයස අවුරුදු 14ට අඩු ළමුන්ට දිනකට පැයක පමණ කාලයක් නිවසින් බැහැරව සිටීමේ අවස්ථාව සලසා දී තිබුණි.
වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ඉතාලියෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197,165ක් වේ. දැනට 106,103ක් ආසාදිත තත්ත්වයේ පසුවේ. කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මිය ගිය ගණන 26,644 ක් වේ. ඉතාලියේ ද මැයි මස 04 වන දා සිට පනවා ඇති දැඩි නීති රීති ලිහිල් කිරීමටත් ජනතාවට තම ඥාතීන් මුණගැසීම සඳහා ද අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ඉතාලියේ අගමැති ගුසේප් කොන්ටේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, ඉතාලියේ කර්මාන්තශාලා සහ වෙළඳසැල් ද නැවත විවෘත කිරීමට අවධානය යොමු කර ඇති නමුත් ලබන සැප්තැම්බර් මාසය වන තෙක් විවෘත නොවන බව විදෙස් මාධ්‍යන් වැඩිදුරටත් වාර්තා කරයි.
ප්‍රංශයේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 162,100ක් වන අතර එයින් 94,341ක් ආසාදිත තත්ත්වයේ පසුවේ. වෛරසය හේතුවෙන් ප්‍රංශයේ මරණයට පත් වූ සංඛ්‍යාව 22,856ක් වේ. ප්‍රංශය තවමත් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති නීති රීති ලිහිල් කර නැති අතර අවම වශයෙන් ලබන මැයි මස 11 වන දා දක්වා එම නීති රීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණයේ හා අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නන්ගේ අඩු විමක් දක්නට ඇත.
මහා බ්‍රිතාන්‍යයෙන් මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 152,840ක් වන අතර එයින් 131,764 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ. වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මරණයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 20,732ක් වේ. අද (27) දිනයේ දී බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබීමෙන් පසුව ප්‍රථම වරට රාජකාරි සඳහා වාර්තා කළ අතර පසුගිය අප්‍රේල් මස 05 වන දා සිට 12 වන දා දක්වා ඔහු රෝහල් ගත වි සිටි අතර දින 3ක් දැඩි සත්කාර ඒකකයේ ද පසුවිය.
අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ද මේ වන විට නරක අතට හැරෙමින් පවතින අතර දැනට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 28,380ක් දක්වා ඉහළ ගොස් ඇත. එයින්, පුද්ගලයින් 20,971ක් ආසාදිත තත්ත්වයේ පසුවේ. ඉන්දියානුවන් 886 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත් වී ඇත.
