වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ සෙබළුන් 29 දෙනෙකු වාර්තා වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව, ඊයේ (22) දිනයේ දී වාර්තා වූ නාවික හමුදා සෙබළාත් ඇතුළුව වැලිසර නාවික කඳවුරේ සේවයේ නියුතු සෙබළුන් 30 කට වෛරසය ආසාදනය වී ඇත.
මේ අතර, ඊයේ (22) දිනයේ දී පොළොන්නරුවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළා හට වෛරසය ආසාදනය වී ඇත්තේ ජා – ඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ පිරිස් සොයා සිදු කරන ලද මෙහෙයුමකට එක් වී සිටි නාවික හමුදා සෙබළෙකුගෙන් බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මිට අමතරව, වෛරසය ආසාදිත සෙබළුන් 29 දෙනෙකු වාර්තා වීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන් හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි. එසේම, නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින සෙබළුන් නැවත කැඳවා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
