කොරෝනා ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා සෙබලාගේ අසල්වාසියෙකු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවේ සේවයේ නියුතු වීම හේතුවෙන් එම ඩිපෝව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
එම නාවික හමුදා සෙබලා සේවයේ නියුතු වී තිබෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ වන අතර නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම නාවික හමුදා සෙබලා සමඟ ඇසුරු කළ පිරිස් අනුරාධපුර ඩිපෝවේ සේවය කළ ඔහුගේ අසල්වැසියා සමඟ ද ඇසුරු කර ඇතැයි විශ්වාස කරයි. ඒ අනුව, මහජන පරීක්ෂකවරු විසින් අනුරාධපුර ඩිපෝව වෙත පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.
අනුරාධපුර ඩිපෝවේ බස් රථ 100ක් පමණ අනුයුක්ත කර ඇති අතර සේවයේ නියුතු පිරිස 300ක් පමණ වේ.
නාවික හමුදා සෙබලා පොළොන්නරුවේ පුලතිසිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඒ ආශ්‍රිත ගම්මාන 12ක් හුදෙකලා කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, එම නාවික සෙබලාට වෛරසය ආසාදනය වී ඇති ආකාරය තවමත් සොයාගෙන නැති අතර ඔහු සමඟ සමීපව කටයුතු කළ නාවික හමුදා සෙබළුන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ.
