ඊයේ (20) දිනයේ දී පිළියන්දලින් හඳුනාගත් මාළු ව්‍යාපාරිකයා මාළු අලෙවි කිරීම සඳහා ස්ථාන රැසකට ගොස් ඇති අතර ඔහු ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.
එමෙන්ම, මේ වන විට වාර්තා වී ඇති කරුණු සමඟ මාළු ව්‍යාපාරිකයා සම්බන්ධකම් පැවැත් වූ පවුල් 15කට අයත් පුද්ගලයන් 71 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, එම මාළු ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
එසේම, අදාල ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබේ.
මිට අමතරව, ඊයේ (20) දිනයේ දී බොරලැස්ගමුවෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙක් වාර්තා වී ඇති අතර ඔහුට කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී මෙරටින් වාර්තා වූ 114 වැනි ආසාදිතයාගෙන් වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇතැයි සැක පළ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එයට හේතුව වී ඇත්තේ, බොරලැස්ගමුවෙන් වාර්තා වූ රෝගියා රුධිර පාරවිලයනය කිරීම සඳහා කොට්ටාව ප්‍රදේශයේ පිහිටි එම වෛද්‍ය මධ්‍යස්ථානයට සතියට දින 03ක් යන බව වාර්තා වීම හා 114 වන රෝගියා එම ස්ථානයට පැමිණ ඇති බවට හෙළි වීමත් නිසා ය.
බොරලැස්ගමුවෙන් හා පිළියන්දලින් වාර්තා වූ මෙම රෝගීන් දෙදෙනාම නිරෝධායන ක්‍රියාවලියෙන් බැහැරව වාර්තා වූ රෝගීන් දෙදෙනෙකු වීම විශේෂත්වයකි.
