Advertise with Giraya
NEWS

අගරදගුරුතුමන්ගේ අතිවිශේෂ පණිවුඩය

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන්, සැලසුම් කළ අය, අරමුදල් දුන්න වුන් සොයාගෙන එම තොරතුරු ජනතාවට හෙළිදරව් කළයුතු බවත් දඬුවම් දීමටත් වඩා මෙම අපරාධය කළ වුන්, කළ අය නොසඟවා හෙළිදරව් කිරීම තුළින් මෙවැනි මහා මිනිස් ඝාතන නැවත සිදුවීම වළක්වා ගැනීමට එවැනි මිනිස් සංහාරය පිළිබඳ සංවිධාන ජාලය හඳුනාගත යුතු බව අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිකුත් කර අති විශේෂ පණිවුඩයකින් අවධාරණය කරයි.

අදට යෙදෙන පාස්කු ඉරුදින ප්‍රහාරය සිහි කරමින් නිකුත් කර ඇති එම පණිවුඩයෙහි මෙසේද සඳහන් වේ.

මා හිතවත් ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියනි, ගිය අවුරුද්දේ පාස්කු ඉරුදින එනම්, 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ භයානක මහා මිනිස් ඝාතනය පිළිබඳ මෙනෙහි කරමින් අප පවත්වන මෙම සුළු අනුස්මරණය අවස්ථාවේදී මා ඔබ සියල්ලන්ට ස්තුතිවන්ත වන්නේ ඒ අවස්ථාවේදී ඉතා සංවරශීලීව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් ජාතීන් අතර ඇතිවන්නට ගිය අවාසනාවන්ත තත්ත්වයක් මඟහරවා ගැනීමට කටයුතු කළ නිසයි. එදා මේ ප්‍රහාරය මෙහෙය වූ අය සැරසී සිටියේ ජාතිවාදී, ආගම්වාදී අරගලයක් රට තුළ ඇති කර අපේ රට අස්ථාවර කර විදේශීය බලවේගවලට මෙහි ඇඟිලි ගැසීමට ඉඩ සලස්වා දීමටයි. අපි ඒ අනතුරෙන් එතෙර වූයෙමු. මෙම සිද්ධියේදී මිය ගිය අයට සහ තුවාල ලැබූ අය වෙනුවෙන් යාච්ඤා කරමින් සහ ඔවුන්ට පින් අනුමෝදන් කරමින් අපි අපේ සහෝදරත්වය පෙන්වා සිටිමු. එමෙන්ම ඔවුන්ට දක්වන විශේෂ උපහාරයක් ලෙස කොයිම ආකාරයකින්වත් මෙවැනි දේ අප රට තුළ යළි කිසිදා සිදුනොවන්නට වග බලා ගනිමු.

Giraya News Alerts

අපේ හෘද සාක්ෂිය පිරික්ෂා කර බැලීම සුදුසුයි.

එක්සිත්ව හා එක්සත්ව එක රටක් ලෙස දේශපාලන නිදහස ලබාගත් අපට එක් ජාතියක් ලෙස අපේ රට ඉදිරියට ගෙනයන්නට නොහැකි වූයේ ගෙවීගිය දශක 7 තුළ විවිධ අවස්ථාවලදී අප අතර විවිධාකාර භේදයන් ඇති වීමට ඉඩහරිමින් අප ගත් ඇතැම් තීන්දු තීරණ නිසාය. එලෙසම අප අදහන ආගම හෝ අප අයත්වන ජාතිය ගැන පමණක් සිතමින් බොහෝ විට කටයුතු කළ නිසාය. එබැවින් මෙවැනි අවස්ථාවකදී අපේ හෘද සාක්ෂිය පිරික්සා කර බැලීම සුදුසු යැයි මා සිතනවා. අප ආදර ලක් මවුන්ට අප සැබැවින්ම සෙනෙහසින් යුතුව සලකන්නේ නම් මෙවැනි පටු දැක්මෙන් යුතුව කටයුතු කිරීම අප අත්හළ යුතුය.

තවද ව්‍යසනය සිදුවී අවුරුද්දක් ගතවී ඇතත් තවම මෙම සිද්ධිය සැලසුම් කළ මහ මොළකරුවන් කවුදැයි හෙළිදරව් වී නැහැ. එම නිසා මෙම සිද්ධියෙන් මියගිය හා තුවාල වූ සියලු දෙනා වෙනුවෙන් අපේ යුතුකම වන්නේ මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි මහා මොළකරුවන්, එය සැලසුම් කළ අය, ඒ අයට විවිධ ආකාරයෙන් සහාය දුන් අය සහ අරමුදල් ලබාදුන් අය කවුරුන් දැයි සොයාගෙන ඔවුන් පිළිබඳ තොරතුරු තරාතිරම් නොබලා ජනතාවට හෙළිදරව් කිරීමයි. මෙහිදී මම අවධාරණය කර සිටින්නේ දඬුවම් දීමටත් වඩා මේ මහා අපරාධය කළ අය කවුදැයි කියා නොසඟවා ජනතාවට හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ගැනය. ඔවුන් සමාජයේ ඉහළ තැන්වල සිටී නම් ඔවුන්ගේ සැබෑ ස්වරූපය එළිදරව් කිරීම වැදගත් වෙනවා. මෙවැනි මහා මිනිස් ඝාතන මේ රටේ නැවත සිදුවීම වළක්වා ගැනීමට නම් මෙම මිනිස් සංහාරය සම්බන්ධ සමස්ත සංවිධාන ජාලය හ¾දුනාගත යුතුයි. ඕනෑම බිහිසුණු ම්ලේච්ඡ ඝාතනයක් සිදුකර ඒ සියල්ල රතු පලස යට සඟවන අයුක්තිසහගත සහ පාපතර සංස්කෘතිය අප රට තුළින් දැන් නිමා කළ යුතුයි. එසේම මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි තොරතුරු සහ කල්තියා අනතුරු හැඟවීම් ලැබී තිබියදීත් ඒවා ගැන හරියාකාර පරීක්ෂණ නොපවත්වා ඒවා අමතක කරදැමීමට ‍ෙදා් ලද තොරතුරු වැඩි සැලකිල්ලට නොගෙන තමන්ගේ යුතුකම් ඉතා බරපතළ ලෙස පැහැර හැරිය බවට චෝදනා ලබන එවකට බලයේ සිටි හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ අය මෙන්ම ආරක්ෂක අංශවල සමහර අය ගැනද ලැබී ඇති තොරතුරු වග විභාග කර බලා ඔවුන්ද නීතිය ඉදිරියට ගෙනයෑම සිදුවිය යුතුයි. තම තමන්ගේ කුටුම්භයන් පමණක් රැකගැනීම නොව යුක්තිය ඉටුකරලීම වැදගත් වන බව කවුරුත් තේරුම් ගත යුතුයි. එහිදීද තාරතිරම, පක්ෂ පාට, වර්ගය ආදිය ඊට අදාළ නොවිය යුතුයි. උක්ත කරුණ සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම මේ වනතුරු කර ඇති වැඩ කොටස අවංකවම අගය කරන අතර එය ඉදිරියටද එසේම ක්‍රියාත්මක වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. සියලු ආරක්ෂක අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අතිගරු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ දැනට සිදු කරන විමර්ශනද විනිවිදභාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් යුතුව තවදුරටත් ගැඹුරින් කරගෙන යා යුතු යැයි මා සිතනවා.

මෙහිදී කිසිදු අනිසි බලපෑමකට යටත් නොවී සෘජුව හා ස්වාධීනව නීතිය ක්‍රියාවට නැංවීමට අතිගරු ජනාධිපතිතුමා දරමින් සිටින ප්‍රයත්නය අපි අගය කරනවා.

සමීප සහෝදර බැම්මකින්

එසේම අද වැනි දවසක මම විශේෂ ස්තූතියක් කළ යුතුයි. අප රටේ අති පූජනීය මහා සංඝරත්නය ඇතුළු මා ආදරණීය බෞද්ධ ජනතාවට. මෙම ව්‍යසනය කිතුනු අපට සිදු වූ පීඩාවක් පමණක් නොව සමස්ත ජනතාවටම සිදු වූ ජාතික ව්‍යසනයක් ලෙස සලකමින් සමීප සහෝදර බැඳීමකින් අප හා ඒකාත්මික වෙමින් අපට දැක් වූ හෘදයාංගම සහයෝගය වචනයෙන් කියා විස්තර කළ නොහැකි බව මම කිවයුතුයි. සමහර බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේ සුනු විසුනු වූ දෙව් මැඳුරුවලට වැඩම කර ඒ ස්ථාන පිරිසුදු කිරීමට පවා නිහතමානී වෙමින් දුන් අමිල ආදර්ශය අප කතෝලික ජනතාව කවදාවත් අමතක කරන්නේ නැති බව මම මෙහිදී සිහිපත් කරන්නට කැමැතියි. ඒ වගේම අනෙකුත් ආගමික නායකයන්ද අපට නොයෙක් ආකාරයෙන් සහායවීමට ඉදිරිපත් වෙමින් රටේ සාමය සහ ආගමික සංහිඳියාව රැක ගැනීමට කළ කැපවීම් අගය කරනවා. පන්සලේ බණමඩුව සහ මුස්ලිම් පල්ලියේ ශාලා අප දේව මෙහෙයන් සඳහා ලබාදීමට ඔවුන් ඉදිරිපත් වුණා. තවද මෙහිදී මා ඉතා කෘතඥතාපූර්වකව සිහි කළ යුතු පිරිස්ද සිටිනවා. මෙම බෝම්බ ප්‍රහාර සිදු වූ නිවාඩු දිනයක් වූ එම ඉරුදින ජාති, ආගම් භේද නොතකා වහා සේවයට වාර්තා කරමින් අපගේ තුවාල වූ රෝගීන්ගේ දිවි බේරාගැනීමට පැමිණි සියලු රජයේ සහ පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලටත් එම හදිසි අවස්ථාවේදී අවශ්‍ය වූ පරීක්ෂණ කටයුතු එම අවස්ථාවේදීම ලහි ලහියේ නොමිලේ කර දීමට කටයුතු කළ ඇතැම් පෞද්ගලික රෝහල්වලටත් මීගමුව නවලෝක රෝහලටත් බරපතළ ලෙස තුවාල වූ අය සඳහා දැඩි සත්කාර ඒකකවල දීර්ඝ කාලයක් කිසිදු අය කිරීමකින් තොරව එම ප්‍රතිකාර කටයුතුවලට විශේෂ අනුග්‍රහය දැක් වූ පෞද්ගලික රෝහල්වලටත් විශේෂයෙන් Asiri Central රෝහලටත්, මීගමුවේ ආවේ මරියා රෝහලටත්, දිවි පරදුවට තබා බෝම්බකරුවන් ලුහුබඳිමින්, බෝම්බ නිශ්ක්‍රිය කරමින් එම අවස්ථාවේ රට රැකීමේ දැවැන්ත මෙහෙයක නියැළුණු ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරී මහත්ම මහත්මීන්ටද, එම ක්‍රියාන්විතයේදී දෙමටගොඩදී දිවි පිදූ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරී මහතුන්ද සෙනෙහසින් සහ කෘතඥපූර්වකව සිහි කරනවා. එලෙසම මරණයට පත් වූ අයගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ දිවා රෑ නොබලා සිදු කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමිය සහ මීගමුව මහෙස්ත්‍රාත්තුමිය සහ අධිකරණ වෛද්‍යවරුන්ද මම ස්තූති පූර්වකව මතක් කරනවා.

සිහිනෙන්වත් නොසිතූ මොහොතක

කතෝලික අප සිහිනෙන්වත් නොසිතූ මොහොතක අපගේ උතුම්ම ආගමික උත්සවය වන ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන මංගල මහෝත්සවයේ දේව මෙහෙය ලේ විලක් කිරීමෙන් ප්‍රකම්පනයට හා මානසික ආතතියට පත් අප වෙත විශේෂ සෙනෙහසක් දක්වමින් සිය සංවේගය පළ කරමින් විපතට පත් ජනතාව ගැන විශේෂ සංවේදීතාවකින් කටයුතු කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. කොරෝනා වයිරස් වසංගතය නිසා වතිකානුවද මුළුමනින් වසා ඇති වකවානුවක පාස්කු ප්‍රහාරයේ වර්ෂ පූර්ණ අනුස්මරණය අලළා එතුමන්ගේ විශේෂ පණිවුඩයද මේ වන විටත් අපවෙත එවා තිබෙන බව මම ඔබට මතක් කරනවා. තවද එම මහා විපත්තිය සිදු වූ කාල පරිච්ඡේදයේදී අප ජනතාව සන්සුන් කරමින්, ඔවුන් සනසමින් දිවා රෑ ඔවුන් බැහැදකිමින් අපමණ සේවාවක් කළ පූජක පැවිදි සැමටත් විශේෂයෙන් අගරදගුරු පදවියේ සේවය කරන ගරු පියතුමන්ලා, පැවිදි සොයුරියන් සහ පැවිදි සොහොයුරන් එම දුෂ්කර අවස්ථාවේදී මට ලබා දුන් සහාය මම කෘතවේදීව සිහිපත් කරනවා. ව්‍යසනයෙන් විපතට පත් අයට සහන සැලසීම සඳහා අප ඇරඹූ අරමුදලට ආගම්, ජාති භේද නොතකා තමන්ට හැකි අයුරින් පරිත්‍යාග අප වෙත එවූ දෙස් විදෙස් ආයතන සහ සංවිධානවලටත් මගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමි. අපගේ සහායක රදගුරුතුමා වරක් ඔබට ප්‍රකාශයට පත්කළ ලෙස එම අරමුදල සඳහා පරිත්‍යාගවලින් ලද මුළු මුදල රුපියල් මිලියන පන්සිය දහසයක් වන අතර ඉන් රුපියල් මිලියන තුන්සිය හැත්තෑ දෙකක් දැනටමත් අප වියදම් කර ඇත. ඉදිරි වැඩකටයුතු සඳහා ඉතිරි වී ඇති මුදල රුපියල් මිලියන එකසිය හතළිස් හතරකි. මෙම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක සටහනක් අගරදගුරු පදවියේ සෙත්සරණ ආයතනයෙන් ඔබට ලබාගත හැකිය. තවද මුළුමනින්ම වාගේ විනාශයට පත් වූ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැඳුරත්, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැඳුරත් ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව පිළිසකර කිරීමට උපරිම සහාය ලබාදුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලටත් එම කටයුතුවලදී මහත් පරිශ්‍රමයෙන් කටයුතු කළ වත්මන් විපක්ෂ නායකතුමාටත්, දෙව්මැඳුරු ගොඩනැඟීමේ කටයුත්තේදී දැඩි සංයමයකින් සහ ආදර්ශවත් කැපවීමකින් ක්‍රියා කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරී මහත්වරුන්වත් ස්තූති පූර්වකව සිහිකරනවා. ඔවුන්ගේ දරුපවුල්වලට මම ආශීර්වාද කරනවා. තවද මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ මොහොතේ සිට මේ මොහොත දක්වා ඒ පිළිබඳ තොරතුරු නොවලහා ජනතාවට සන්නිවේදනය කරමින් මහත් කැපවීමෙන් සිය සේවා සැපයූ සියලු මාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන්ටද මගේ ස්තුතිය හිමි වෙනවා.

එකිනෙකාගෙන් ඉගෙන ගනිමින්

මෙවැනි සිදුවීමක් තුළින් අපට ලැබෙන එක් පාඩමක් සිතට ගත යුතු වෙනවා. එනම් අපේ ජාතිය හෝ අපේ ආගම හෝ අප අතර ඇතිවන එවැනි ස්වාභාවික වෙනස්කමක් අප බෙදා වෙන්කිරීමට වඩා අප එකමුතු කිරීමට බැඳීමක් ඇති කරගත හැකි සම්පතක් යැයි සිතා එකිනෙකාට ගරු කරමින් එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් රටේ පොදු උන්නතිය සඳහා කැපවීම සියල්ලටම වඩා වැදගත් බවයි. ශ්‍රී ලංකාව සතු දීර්ඝ ඉතිහාසය හා ආගමික සංස්කෘතික ශිෂ්ටාචාරය කුමක් දැයි හොඳින් තේරුම් ගෙන සමානාත්මතාව අගයන අතරම අපට ආවේණික පොදු උරුමය තුළ ස්ථානගත වීමේ වැදගත්කම ගැනද විශේෂයෙන්ම සුළුතර ජාතීන් හා ආගමිකයන් යැයි කියා ගන්නා අප වැනි අය නැවත සිතා බැලිය යුතු වෙනවා. ප්‍රධාන ප්‍රවාහයේ ආගමික චින්තනය තුළ එනම්, බෞද්ධ සභ්‍යත්වය තුළ මේ රටේ ආධ්‍යාත්මික සංස්කෘතිය ගොඩනැඟී ඇති බව පිළිගනිමින් හින්දු, මුස්ලිම්, කිතුනු අප සැමෝම බොදුනු ජනතාව සමඟ ගැඹුරින් මුසු වී ඔවුන් සියලුදෙනා සමඟ මේ රට දියුණුවේ මාවත වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරමින් නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට මේ මොහොතේදී ද අධිෂ්ඨාන කර ගනිමු. වසර 30ක යුද්ධය වැනි අවාසනාවන්ත තත්ත්වයක් යළි මේ රට තුළ ඇති නොවන ලෙසට වෙනස්කම් පසෙකලා අපි එකාවන්ව නැඟී සිටිමු. ස්තූතියි. ඔබ සැමට ජේසු පිහිටයි !

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top