රට තුළ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්ති පාලනය වී ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව මාස කිහිපයක් ගත විය හැකි බැවින් පාර්ලිමේන්තු මහ මැතිවරණය කොටස් කිහිපයකට ප‍්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමේ යෝජනාවක් දේශපාලන පක්ෂ කිහිපයකින් සහ විද්වත් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
මෙය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර සියලූ පක්ෂවල එකඟතාව මත ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම ද හෙට (20) රැස්වීමට නියමිතය. නාමයෝජනා කැඳවීමෙන් පසු පළමුවරට පවත්වන මෙම රැස්වීමේ දී මෙම යෝජනාව කෙරෙහි අවධානය යොමුකරවීමට ද අදාල පක්ෂ බලාපොරොත්තු වේ.
එමෙන්ම, හෙට රැස්වන මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන දිනය පවත්වන දිනය සම්බන්ධව සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත එවා ඇති ලිපිය සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමුකරීමට නියමිත බව ද වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8 වැනි පාර්ලිමේන්තුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මාර්තු මස 02 වැනිදා විසුරුවා හැර අපේ‍්‍රල් මස 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගනු ලැබූ නමුත් පවතින කොරෝනා වෛරස රෝග තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නාමයෝජනා භාරගැනීමෙන් පසු මහ මැතිවරණය පවත්වන දිනය කල්තබනු ලැබීය.
