Advertise with Giraya
NEWS

උල්කාපාතයකින් කොරෝනා වායුගෝලයට ආ බව කියන ලංකාවේ විද්‍යාඥයා

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍යම තාරකා විද්‍යාඥයා ලෙස හඳුන්වා දිය හැකි තාරකා විද්‍යාව, තාරකා ජීව විද්‍යාව මෙන්ම ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු වන චන්ද්‍ර වික්‍රමසිංහයන්ය.

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ සහ ආචාර්ය ෆ්‍රෙඩ් හොයිල් (Dr. Fred Hoyale) නූතන ලෝකයේ පැන්ස්පර්මියා වාදය ලොවට දායාද කළ අතර ජීවය විශ්වය පුරා විසිරී ඇති සාධකයක් බව එමඟින් පෙන්වා දෙනු ලැබ ඇත.

විද්‍යාව වෙනුවෙන් කරන ලද අපිරිමිත මෙහෙය වෙනුවෙන් මහාචාර්ය වික්‍රමසිංහයනට හා ආචාර්ය ෆ්‍රෙඩ් හොයිල්ට 1986 ජාත්‍යන්තර ඩැග් හැමර්ෂල් රන් සම්මානය පිරිනැමිණි. එමෙන්ම 1996 වසරේදී ආතර් සී. ක්ලාක් හා එක්ව ජාත්‍යන්තර සහබ්දීන් ත්‍යාගයද දිනා ගැනීම සුවිශේෂය. ජපානයේ සෝකා විශ්වවිද්‍යාලයේ ගෞරවනීය, ආචාර්ය පදවියකින් පුද ලබා ඇති මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයෝ ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ ගෞරවනීය මහාචාර්යවරයකුද වේ.

මේ වනවිට එක්සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයා වන ඔහු ශ්‍රී ලංකාවේ සර් ජෝන් කොතලාව විශ්වවිද්‍යාලයේ හා මහනුවර මූලික අධ්‍යයන ආයතනයේද ගෞරව මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

පහත දැක්වෙන්නේ ඔහු ‘මව්බිම’ පුවත්පත හා කළ සාකච්ඡාවකි.

ඔබ ඉදිරිපත් කරන ‘පැන්ස්පර්මියා වාදය’ ඉතා සරලව විස්තර කළ හැක්කේ කෙසේද?

‘පැන්ස්පර්මියා වාදය’ මඟින් ජීවයේ ආරම්භය අභියෝගයකට ලක් කෙරෙනවා. විශ්වය පුරා ජීවයේ සාධක පැවතිය හැකි බව මෙම ‘පැන්ස්පර්මියා වාදය’ මඟින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම වල්ගා තරු මඟින් පෘථිවිය මත ජීවයේ සාධක ඇති වන්නට ඇති බවට ප්‍රබල සාක්ෂි ලැබී තිබෙනවා. වල්ගා තරුවකට ගොඩ බැස්වූ රොසෙටා යානාව මඟින් ලබාගත් සජීවී බැක්ටීරියාවන්ගේ තොරතුරු මඟින් රුසියානු ගගන විද්‍යාඥයන් විසින් අභ්‍යවකාශයේදී සොයාගත් සජීවී ක්ෂුද්‍ර ජීවීන් ආදී බොහෝ තොරතුරු මඟින් මගේ සිද්ධාන්තය සනාථ වනවා.

අනන්ත වූ විශ්වය තුළ පෘථිවියේ ජීවය පමණක් හුදකලාව පවතිනවාද?

කිසිසේත්ම නැහැ. නූතන සොයාගැනීම් අනුව අපගේ ක්ෂීර පථ මන්දාකිණියේ පමණක් පෘථිවිය වැනි ග්‍රහලෝක බිලියන 100කට වඩා තිබෙන බව සොයාගෙන තිබෙනවා. අපගේ මිහිතලය මත ජීවයේ සාධක ඇත්තේ යම් සේද එලෙසින්ම අනන්ත විශ්වයේද ජීවයේ සාධක විසිරී තිබෙනවා.

මානවයා මෙන් දියුණු ජීවයක් විශ්වයේ පැවැතිය හැකිද?

මානවයා මෙන් බුද්ධිමත් වූ ජීවීන් පමණක් නොව මානවයටත් වඩා බුද්ධිමත් ජීවී කොට්ඨාසයක් විශ්වයේ සිටින බව මගේ විශ්වාසයයි.

වයිරස හා බැක්ටීරියා විශ්වයේ සිට පැමිණ නොයෙකුත් රෝග හා වසංගත ඇති කරන බව ඔබ ප්‍රබල ලෙස ප්‍රකාශ කර සිටිනවා. මෙය විග්‍රහ කළහොත්?

අප බොහෝවිට සිතන්නේ මිහිතලය මත වූ බැක්ටීරියා හා වයිරස මඟින් මෙම වසංගත තත්ත්වය ඇති වන බවයි. නමුත් වල්ගා තරු ආදිය මඟින් මිහිතලයට ආගන්තුක වන බැක්ටීරියා වයිරස ආදිය පැමිණිය හැකි බව බොහෝ පර්යේෂණ මඟින් පෙන්වා දිය හැකියි. අදින් වසර 2400කට ප්‍රථම ඇතන්ස් නුවර වූ මහාමාරිය රෝග වසංගතය මෙන්ම ඉන්පසු ඇති වූ මහාමාරිය වසංගත රෝගවල තත්ත්වයන් ඊට නිදසුන් සපයනවා.

1918-1920 කාලයේ සිදුවූ ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වය හමුවේ ලෝක ජනගහනයෙන් 1/5ක හෙවත් මිලියන 500ක් ආසාදනය වූවා. එමෙන්ම පවතින දත්තවලට අනුව මිලියන 30කට වැඩි පිරිසක් මිය ගියා. එය ඊට වැඩි බවයි බොහෝවිට අනුමාන කරන්නේ. නමුත් වැදගත්ම කරුණ මෙයයි. ගුවන් ගමන් බහුල නොවූ යුගයේ ප්‍රථම ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වුණේ ඇමෙරිකාවේ බොස්ටන් නුවරින් හා ඉන්දියාවේ බොම්බායෙන් වීම විශේෂයි. ලෝකයේ අන්ත දෙකක එකම දිනක රෝගීන් වාර්තා වීම මඟින් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදු නොවූ බවට කදිම සාක්ෂි සපයනවා.

මීට වසර 12කට පමණ පෙර 1918-20 ඉන්ෆ්ලුවන්සා වසංගතයෙන් මියගිය පුද්ගල මළසිරුරු කිහිපයක් ඇමෙරිකානු සොල්දාදුවන් විසින් සීතල ‘ඇලස්කා’ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. අනතුරුව විද්‍යාඥයන් එම මළසිරුරුවල පෙණහලු පටක ආදියේ ඇති ඉන්ෆ්ලුවන්සා වයිරසවල ජානමය හැදෑරීම් සිදුකළා. ඉතාම විස්මය දනවන කරුණ නම් අදාළ අවස්ථාවේදී සෑම පුද්ගලයා තුළම ඇති වයිරසයේ කිසිම අන්දමක විකෘතිතා නොදැක්වීමයි. තවත් සරලව පවසනවා නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට එය බෝවීමක් සිදුවී නැහැ. ඔවුන් සියලුදෙනා මරණයට පත්ව ඇත්තේ වායුගෝලය මඟින් වයිරසය ඔවුනට ආසාදනය වීම නිසයි.

වයිරස විශ්වයේ සිට පෘථිවියට පතිත වන බවට සාක්කි තිබෙනවාද?

1969 ඕස්ට්‍රේලියාවේ මර්ච්සන් ප්‍රදේශයට ඇද වැටුණු උල්කාපාතය ඊට කදිම නිදසුන් සපයනවා. විද්‍යාඥයන් විසින් එම උල්කාපාතය පිළිබඳව බොහෝ හැදෑරීම් කරනු ලැබුවා. මර්ච්සන් උල්කාපාතයේ නැනෝ පරිමාණිත අංශු දෙස ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලූවිට අතිශය පුදුම සහගත ලෙස ඒ තුළ ‘ටුබේක් මොසේක්’ වයිරසයට හා ඉන්ෆ්ලුවන්සා වයිරසයට බොහෝ ලෙස සමානකම් දැක්වූ වයිරස අංශු නිරීක්ෂණය කරන්නට ලැබුණා. එමෙන්ම මෙම උල්කාපාතය පෘථිවි ජීවයේ ආරම්භයටද වඩා ඔබ්බට ගිය එකක්. එමෙන්ම ඉන්දියාවේ කේරළයට (2001දී හා 2006දී) හා ශ්‍රී ලංකාවේ (2012) ඇදවැටුණු රතු වැස්සේ රතු වැසි සෛලයද මෙයට ඉතා හොඳ නිදසුන් සපයනවා.

COVID 19 වසංගත තත්ත්වයට හේතු වූ වයිරසය සතුන් මඟින් මිනිසාට සම්ප්‍රේෂණය වූවක් ලෙස දැක්වෙනවා?

මා සමඟ එක්ව කටයුතු කරන ප්‍රතිශක්තිකරණවේදය (Immunology) පිළිබඳ මහාචාර්ය එඩ්වඩ් ස්ටීල් මහතා මෙම COVID 19 වයිරසයේ ජාන විශ්ලේෂණයන් පිළිබඳව මාස 2කට අධික කාලයක් පරීක්ෂණ කළා. එම අතිශය සංකීර්ණ පරීක්ෂණවලට අනුව මෙම වයිරසය වවුලාගෙන් හෝ ඒ අතරමැදි වෙනත් සත්ත්වයකු මඟින් මිනිසාට සම්ප්‍රේෂණය වී නොමැති බව පැහැදිලි වුණා. එනිසා වයිරසයේ මූලාරම්භය අවිනිශ්චිතයි. නමුත් වයිරසය පැතිරීම පටන් ගත් චීනයේ වූහාන් නගරයට 2019 ඔක්තෝබර් මාසයේදී ඉතා විශාල උල්කාපාතයක් පතිත වී තිබෙනවා. මා විශ්වාස කරන අයුරින් මෙම වයිරස වායුගෝලයට මුදා හැරී ඇත්තේ ඉන් පසුවයි.

සූර්ය හා විශ්වීය කිරණවල සිදුවන වෙනස්වීම් මඟින් 2019 අගභාගයේ සිට 2020 අගභාගය තෙක් ලෝකයේ සෞඛ්‍ය අංශවලට වැඩ වැඩි විය හැකි බවත් වසංගත ඇතිවිය හැකි බවත් 2018-2019 කාලයේදී පර්යේෂණ පත්‍රිකා මඟින් පෙන්වා දී තිබෙනවා. මේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කෙලෙසද?

සූර්ය චක්‍ර මඟින් සූර්යයාගෙන් නිකුත් කෙරෙන ඉලෙක්ට්‍රෝන ධාරාවන් පතිත වීම දුර්වල කෙරෙනවා. එමඟින් පෘථිවි චුම්භක ගෝලය දුර්වල වීමක් සිදුවෙනවා. එවිට මන්දාකිණි මඟින් නිකුත් කරන විශ්වීය කිරණ පෘථිවි චුම්භක ගෝලයට ඇතුළු වී ඇති කෙරෙන බලපෑම් මඟින් වයිරස සහ බැක්ටීරියා ආරෝපණය වීමක් සිදුවෙනවා. පෘථිවියට එවැනි බලපෑම් ඇති වූ විට මීට පෙරත් මෙවැනි වසංගත ඇති වී තිබෙනවා.

මෙම වයිරස ධූමකේතුවක් මඟින් ඇති වූ උල්කාපාතයකින් වූහාන්හි වායුගෝලයට මුදා හැරෙන්නට ඇති. අනතුරුව සුළඟ මඟින් ඉරානය, ඉතාලිය ඇතුළු යුරෝපීය කලාපයට හා අනෙකුත් ප්‍රදේශවලටත් වර්ධනය වන්නට ඇති. ඉහළ වායුගෝලයේ සිට ක්‍රමිකව එය පෘථිවිතලය පුරා විසිරී යන්නට ඇති. මා එසේ විශ්වාස කරනවා.

පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවීම බැහැර කළ නොහැකි වුවත් වායුගෝලය (වාතය මඟින්) රෝග පැතිරීම කිසි ලෙසකින්වත් බැහැර කළ නොහැකියි.

තවදුරටත් මෙය සවිස්තරාත්මකව ප්‍රකාශ කළහොත්?

පසුගිය 2019 වසරේ ඔක්තෝබර් මස 11 දින චීනයේ හුබෙයි පළාතේ (ඊසාන දිග චීනයේ) සොන්යුවැන් (Songyuan) ප්‍රදේශයට රාත්‍රි කාලයේ ඉතා විශාල උල්කාපාතයක්් ඇද වැටී තිබෙනවා. මෙම ප්‍රදේශය හා වූහාන් අතර දුර 2000kmක් පමණ වෙනවා.

මෙම උල්කාපාතය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී එය ගිනිගෙන දැවෙන අතර ඉන් අභ්‍යන්තර උල්කා කොටස් ඉතා කුඩා අංශුවලට කැඩී පෘථිවි වායුගෝලය පුරා විසිරී යා හැකියි. එම කොටස් තුළ නොයෙකුත් බැක්ටීරියා, වයිරස වැනි ක්‍ෂුද්‍ර ජීවි අංශු වාතලයට මුසු වෙනවා.

විශේෂයෙන් වූහාන්වල සත්ත්ව වෙළෙඳපොළ තුළ ඇති සත්ත්වයන් (ක්‍ෂිරපායින්, උරගයන් ආදී) සතුන් මෙන්ම පරිසරයේ එළවළු, පලතුරු ආදී ශාක ප්‍රජාවටත් මෙම වයිරසයේ බලපෑම මිනිසාට මෙන්ම ඇති වන්නට ඇති බව මාගේ විශ්වාසයයි.

විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්රේස් මහතා එක් අවස්ථාවක වයිරසය පැතිරීමට ‘ඉතා පැහැදිලි වසංගත සබැඳියාවක්’ ප්‍රකාශනය නොකිරීම (රෝග ආරම්භක අවස්ථාවේදී වාතලය මඟින් එය බෝවන බවට සාක්ෂි නැතැයි පැවැසීම)

තවදුරටත් විශේෂ වූ කරුණක් ප්‍රකාශ කළයුතුයි. මුහුදේ යාත්‍රා කරන ලද මගී නෞකාවන්වල සිටි මගීන් ගොඩබිම් තුළට පැමිණි අවස්ථාවේදී කරන ලද පරීක්ෂණ මඟින් එම මගී නෞකාවල සිටි බොහෝ අයට COVID-19 රෝගය වැලඳී ඇති බැව් තහවුරු වුණා. නමුත් සමහර මගී නෞකා එම අදාළ තොටුපොළවලින් පිටත් වන විට එම පිටත් වූ වරාය ආශ්‍රිත ගොඩබිම්වල කොරෝනා වසංගත තත්ත්වයක් නොවූවද හුදකලාව මුහුදේ යාත්‍රා කරමින් සිට පැමිණි විටදී ඔවුන්ට රෝගය වැලඳී තිබුණා. මෙම සිද්ධිය අපට විග්‍රහ කළ හැක්කේ කෙසේද? ඉතා පැහැදිලිව මා මුලින් කියූ ලෙසට මෙම වයිරස අංශු ඉහළ වාතලයේ සිට සම්ප්‍රේෂණය වී තිබෙනවා.

අපගේ මිහිතලය මත ජීවයේ ආරම්භක සාධක ඇත්තේ වසර බිලියන 4.2-4.3ක කාලයේදී ක්‍ෂුද්‍ර මට්ටමේ ජීවීන්ගෙන්. එම කාලය තුළ පෘථිවිය නිරන්තරයෙන්ම වල්ගා තරු පැමිණ ගැටීම් සිදුවුණ කාල පරාසයක් බව ඔප්පු වී තිබෙනවා. එම නිසා පෘථිවියේ ජීවයේ ආරම්භක සාධකය වල්ගා තරු මඟින් වූ බවට සාධකය බැහැර කළ නොහැකියි.

චීනයේ සේද මාවතේ මවාන්ග්ඩුයි ගල්ගුහා චිත්‍ර තුළ අදින් වසර 2000කට ප්‍රථම චිත්‍රණය කර ඇති සිතුවම් තුළ නොයෙකුත් ආකාරයේ වල්ගා තරු මඟින් ඇති වන රෝග තත්ත්වයන් නිරූපණය වී තිබෙනවා. ඉතිහාසය තුළද මෙවැනි බොහෝ කරුණු රැඳී පවතිනවා.

ශ්‍රී ලංකාව තුළ රෝග ව්‍යාප්තිය වැළැක්වීමට ඇඳිරි නීති යොදා පුද්ගල සංචරණය අවම කොට තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කෙබඳුද?

මෙම වයිරස ආසාදනය වායුගෝලය මඟින් සිදුවිය හැකියි. ප්‍රධාන කාරණය එයයි. නමුත් ඉන් අනතුරුව පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගය ව්‍යාප්ත වන නිසා ඒ තත්ත්වය පාලනය කිරීම සඳහාත් ශ්‍රී ලංකාව තුළත් සංචරණයන් අවම කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අතිශය වැදගත්. ඒ වගේම ආර්ථික යාන්ත්‍රණය දීර්ඝ කාලීනව මුළුමනින්ම නතර වී තිබීම ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා.

ඔබගේ විද්‍යාත්මක චින්තනයට බෞද්ධ දර්ශනය මඟින් බලපෑමක් සිදුවූවාද?

මා ඉපදුණේ හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ නිසා ස්වභාවයෙන්ම බෞද්ධ දර්ශනයට දැඩි කැමැත්තක් දැක්වූ බව නොරහසක්. බෞද්ධ දර්ශනය මඟින් සත්‍යය තමා විසින්ම අවබෝධ කරගන්නට මඟ සලසනවා. එමෙන්ම එමඟින් තමාට තමා තුළම සතුට ඇති කරනවා.

අද නූතන විශ්ව ගවේෂණවල යෙදෙමින් ලබාගන්නා අසිරිමත් විශ්වයේ තොරතුරු අදින් වසර 2600කට ප්‍රථම බුදුන් වහන්සේගේ දේශනා තුළ අන්තර්ගතවීම අසිරිමත් දෙයක් ලෙස මා සලකනවා. විශේෂයෙන් අතිනවීන දුරේක්ෂ මඟින් ලබාගන්නා තොරතුරු බුදුන් වහන්සේගේ ප්‍රකාශයන් තුළ වූ භෞතික විශ්වීය කරුණු හා මනාව සැසඳී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top