දින 21 කාලයක් සඳහා වසා දැමුණු ඉන්දියාව ලබන මැයි මාසයේ 03 වන දා දක්වා වසා දැමෙන බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් අද (14) ප්‍රකාශ කර සිටියා.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මිනිත්තු 20 ක පමණ කාලයක් ජාතිය අමතා කථාකළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඇතැම් ප‍්‍රදේශවලට පනවා ඇති නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අපේ‍්‍රල් 20 වනදායින් පසුව තීරණයකට එළඹෙන බවයි.
ඒ අනුව රට වසා දමමින් පනවා ඇති නීති රටවැසියන් විසින් නිසි අයුරින් පිළිපදින්නේ ද යන්න එළඹෙන 20 වනදාතෙක් දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සහ ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට නිවැරදිව සොයා බලන බවත්, අනතුරුව තීරණයකට එළඹෙන බවත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වුණා. එම කාලය තුලදී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක්.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358 ක් ලෙසයි. වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193 ක් වනවා.
