ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ දී පසුගියදා හමුවූ කොරෝනා රෝගීන් පස් දෙනා එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පොල් කඩන්නා සමඟ එක සිගරැට්ටුවක් භාවිත කළ එම ප්‍රදේශයේම 5 දෙනකු බව අනාවරණය වී තිබේ.
මෙම පිරිස පොල් කඩන්නා ඇසුරු කර ඇති බව සොයාගත් නාවික හමුදා බුද්ධි අංශය ඔවුන් ඇතුළු 28 දෙනකු තම භාරයට ගෙන සුදුවැල්ල ශාන්ත මරියා දේවස්ථාන භූමියේදී PCR පරීක්ෂණයකට බඳුන් කර ඇත. ඊට පසු ඔවුන් සියලුදෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත.
පෙරේදා පස්වරුවේ (11) එම පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ඔවුන්ගෙන් පස්දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.
ඒ සමඟම ක්‍රියාත්මක වූ නාවික හමුදාව යුද හමුදාව බුද්ධි අංශවල සහායෙන් එම පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපව ඇසුරු කළ පුද්ගලයන් 52 දෙනෙක් අම්පාර ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
ඒ අනුව ජා – ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පාරිස් පෙරේරා මාවත, කළුපාලම හා ගම්පහ මාකේවිට යන ප්‍රදේශවල පුද්ගලයන් පිරිසක් මෙසේ නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
එම පිරිස ඔළුවිල් වෙත රැගෙන යෑමට පෙර ජාඇළ මහජන ක්‍රීඩාංගණයේදී PCR පරීක්ෂණයකට ලක් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
