Advertise with Giraya
FOREIGN

චීනයේ වවුල් ගැහැණිය කොරෝනා වෛරසය එළියට ආපු හැටි ගැන කියයි

ගෝලීය වසංගතයක් බවට වී, මුළු ලෝකයේම ජන ජීවිතය අඩාල කර, ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින් ඇති මාරාන්තික කොවිඩ් 19 වයිරසය කාන්දු වූයේ, චීනයේ වුහාන් නගරයේ ඇති වයිරස්වේදය පිළිබද ලොව සුපතළ පර්යේෂණාගාරයේ සිදුවූ අත්වැරදීමකින් බව ඇමෙරිකාව මුල සිටම කියා සිටියේය.

මේ අතර ෂී ශෙන්ග්ලි (Shi Zhengli) නම් ලෝ ප්‍රකට වයිරස්වේදී චීන විද්‍යාඥවරිය පවසා සිටින්නේ, මෙම වයිරසයට අදාළ ජාන ප්‍රවේණියේ අනුක්‍රමය (genome) දින තුනක් වැනි කෙටි කාලයකදී අනාවරණය කරගන්නා ලද නමුත් චීන රසායනාගාර පර්යේෂණාගාරයේ ප්‍රධානියා වන යැන්යි වැන් (Yanyi Wang) ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොකරන ලෙසට පර්යේෂණාගාරයේ ඉහළ නිලධාරීන් වෙත දැනුම් දී තිබූ බවයි.

ෂී ශෙන්ග්ලි ජනප්‍රියව ඇත්තේ “බැට් වුමන්” (bat woman) හෙවත් ‘වවුල් ගැහැණිය‘ නම් අන්වර්ථ නාමයෙනි. චීන විද්‍යාඥයන් පිරිසක් විසින් මේ පිළිබඳව කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් 2017 වසරේ ලෝක විද්‍යා සඟරාවක පළ වූ අතර ඉන් ඉස්මතු වූයේ කොරෝනා වයිරස් ප්‍රභේදයක් වන සාර්ස් වයිරසයේ ජාන අනුක්‍රමය, වුහාන් නගරයට කිලෝමීටර් 1,000ක් පමණ දුරින් පිහිටි යුනාන් පෙදෙසේ වාසය කරන වවුලන් විශේෂයක් තුළ පවතින වයිරසයක (horseshoe bats) ජාන අනුක්‍රමය සමග සැස‍ෙදන බවයි.

Giraya News Alerts

ඒ අනුව කොරෝනා වයිරස් කාණ්ඩයට අයත් මාරාන්තික කොවිඩ් 19 වයිරසය පිළිබඳ පර්යේෂණ කටයුතු කරගෙන යෑම සඳහා ඇමෙරිකානු රජය යථෝක්ත චීන වයිරස් විද්‍යාඥයන් වෙත චීන රජය හරහා ඩොලර් මිලියන 3ක ආධාරයක් ලබා දී තිබූ බැව් කියනු ලැබේ. එයින් අදහස් වන්නේ මෙවැනි ජෛව විද්‍යාත්මක වසංගතයක් කිසියම් හෝ මොහොතක ව්‍යාප්ත විය හැකි බවට ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල් යම් අනුමානයක් සහිතව සිටි බව සහ ඔවුන් ද ඒ ගැන පර්යේෂණ කරමින් සිටි බවයි.

ඉහත සඳහන් වවුලන් ආශ්‍රයෙන් වූහාන් පර්යේෂණාගාරය පර්යේෂණ ආරම්භ කර තිබූ අතර එහිදී සිදුවූ වයිරස් කාන්දු වීමක්, කොවිඩ් 19 ලෙස හැඳින්වෙන වයිරසය මිනිසා වෙත ආගමනය වීමට ආසන්න හේතුව බවට විශාල සැකයක් මතුවී ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

කෙසේ වුවත් පසුගිය වසර අග භාගයේ වූහාන් නගරයේ ඇතැම් තැන්වල මතුවූ හුස්ම ගැනීමේ අපහසුතා සහිත රෝගීන් වැඩිවෙත්ම බලධාරීන් ෂී ශෙන්ග්ලි නැවත කැඳවා ඇති බවත්, ඇය දින තුනක් වැනි කෙටි කාලයකදී මේ වයිරසයට අදාළ ජාන සංයුතිය සොයාගෙන බලධාරීන් හට බාර දී තිබෙන බවත් එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

කොවිඩ් 19 වයිරසය සඳහා එන්නතක් නිපදවා ගැනීමට එම අනාවරණය මහත් රුකුලක් විය හැකිව තිබූ නමුත් එම තොරතුරු කිසිවකුට හෙළිදරව් නොකරන ලෙස චීන රසායනාගාර බලධාරියා නියෝග කළ බව පැවසෙයි. එය හෙළි කළේ නම් මේ සම්බන්ධ පර්යේෂණ තවත් පහසු සහ කාර්යක්ෂම විය හැකිව තිබුණු බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

එපමණක් ද නොව, එසේ වී නම් වයිරසය චීනය තුළදීම පාලනය කරගත හැකිව තිබුණු බවද, මෙතරම් විනාශයක් නොවනු ඇති බවද, චීනයෙන් පිට සිටින චීන ජාතික නිදහස් මාධ්‍යවේදීන් පවසා තිබේ.

දින 76ක් අගුළු දමා තිබු වූහාන් නගරයෙන් පිටතට පැමිණි ජනමාධ්‍යවේදියකු පෙරේදා පවසා සිටියේ ඔහුට මේ විද්‍යාඥවරිය සමග කතා කිරීමට ඉඩ ලැබුන බවත්, ඇය දින තුනක් පමණ කෙටි කාලයකදී අවසන් කළ එම ජාන පර්යේෂණයේ තොරතුරු පොදු සමාජයට හෙළි නොකරන ලෙසට ඇයට බලපෑම් කර තිබූ බව දැනගත හැකිවූ බවත්ය.

කිසිදු සමාජ මාධ්‍යයක මේ පර්යේෂණ තොරතුරු පළ නොකරන ලෙස චීන බලධාරීන් බලකර සිටියද ෂැන්හයි හි පිහිටි පර්යේෂණාගාරයක පර්යේෂකයෙක් මේ වයිරසයේ ජාන අනුක්‍රමය සමාජ මාධ්‍යයක පළ කර තිබූ බවත්, ඔහුගේ

පර්යේෂණාගාරයද චීන බලධාරීන් විසින් දින නියමයක් නැතිව වසා දැමුණ බවත් ප්‍රකාශ වී ඇත.

මුලින්ම චීන බලධරයන් පවසා සිටියේ මේ වයිරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය නොවන බැවින් කලබල වීමට දෙයක් නොමැති බවයි. නමුත් ෂී ශෙන්ග්ලී විසින් හෙළිදරව් කරන ලද්දේ මෙයින් නිශ්චිත ලෙසම මිනිසුන් ද ආසාදනය විය හැකි බවය. ෂී ශෙන්ග්ලිගේ පර්යේෂණ කණ්ඩායම මේ තොරතුරු ලෝ ප්‍රකට ‘නේචර්‘ සඟරාවේ ද පළ කර තිබිණි.

“බටහිර පරිභෝජන ආකෘතිය ගැන විතරක් නෙවෙයි මේ වයිරසය අපට ඇස් ඇරවලා තියෙන්නේ. චීන ආකෘතියේ සමාජ පරිණාමය, ආසියාතික ධනවාදී මොඩලය, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරිය, තොරතුරු දැනගැනීමේ නිදහස, විවෘත සමාජ මාධ්‍ය වගේ ගොඩක් දේ ගැන නැවත හිතන්න වෙලා. ඔන්න ඕක තමයි චීනයෙන් පිට ඇමෙරිකාව වගේම හොංකොං වගේ කලාපවලත් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජ ක්‍රියාකාරීන්ගේ මතය වෙලා තියෙන්නේ“ යනුවෙන් ඇය පවසයි.

මහේෂ් හපුගොඩ -Mawbima-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top