කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබෙන ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත්, අසරණ වූ ජනතාවට පිහිටවීමටත් පක්ෂ භේදයකින් තොරව දේශපාලනඥයන් ක්‍රියා කිරීම වරදක් ලෙස ස්වාධීන මැතිවරණ කොමිසම දකිනවා නම් මුලින්ම බෙහෙත් කළ යුත්තේ මැතිවරණ කොමිසමට බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
එසේම, කොරෝනා වෛරසය හේතුවෙන් සාමාන්‍ය ජනතාව පත්ව ඇති අසරණ තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීම සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතා නියෝජිතයන් සමාජයට නායකත්වය ලබාදීම වැළැක්වීමට මැතිවරණ කොමිසමට නොහැකි බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. නිලධාරීන්ට පමණක් මේ අවස්ථාවේදී මෙම බර තනියම ඇදීමට නොහැකි බවත්, ඊට සහයෝගය දැක්වීම දේශපාලනය සිදුකිරීමක් ලෙස මැතිවරණ කොමිසම දැකීම කනගාටුවට කරුණක් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු විසින් ඕඕඛ්ට ප්‍රකාශයන් ලබාදෙමින් මේ අවස්ථාවේදී රට ඒකාධිපතීත්වයකට ගමන් කරමින් සිටින බවට ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, ස්වාධීන කොමිසමක සාමාජිකයකු එවැනි ප්‍රකාශයන් සිදුකරන්නේ කුමන පදනමකින්ද කියා තමා ස්වාධීන මැතිවරණ කොමිසමෙන් ප්‍රශ්න කරන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මේ අතර ස්වාධීන මැතිවරණ කොමිසමේ සහභාපතිවරයා නින්දෙන් ඇහැරුණු කෙනකු වගේ දේශපාලනඥයන් කිසිදු ක්‍රියාවලියකට හවුල් කරනොගන්නා ලෙස ප්‍රකාශ කරන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ස්වාධීන මැතිවරණ කොමිසමේ යට තියෙන දේශපාලනය තමා හොඳින් දන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපති කලින් ආණ්ඩුව තියෙනකොට හැසිරුණු ආකාරය සහ ආණ්ඩුව වෙනස් වූ විට හැසිරුණු ආකාරයද තමා හොඳින් දන්නා බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී සිදුකරමින් පවතින දේශපාලනය නතර කරන ලෙසට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එම නඩයෙන් කාරුණික ඉල්ලීමක් කරන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-Mawbima-
