Advertise with Giraya
NEWS

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

දැනට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ , ගම්පහ, යාපනය, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරුම දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්ක හෙට (09) බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවලට එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන ලෙස ද අවධාරණය කෙරේ.

Giraya News Alerts

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේදය අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top