ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබුණ ගර්භණී කාන්තාවකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.
කෙසේ නමුත්, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇති බව ද සඳහන්.
මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයට ද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇති බව සඳහන්.
සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් මෙවැනි ආකාරයේ සිදුවීම් කිහිපයක්ම පසුගිය සති දෙක තුලදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා විය.
