යාපනයේ අරියාලේ නුවරපාරේ ස්විස් දේවස්ථානයේ පූජාවකට සහභාගී වී ආපසු ස්විස්ටර්ලන්තයට ගිය පූජකවරයා එහිදී කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාවේ සිටි කාලය තුල සිටි ස්ථාන ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ඔහු පවත්වන ලද පූජාවට සහභාගී වූ පිරිසත් ඔහු ඇසුරු කළ පිරිසත් වහාම සෞඛ්‍ය බලධාරීන් හමුවන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරියත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් ඉල්ලීමක් කොට තිබේ.
මෙම පූජකවරයා පෝල් සත්ගුණරාජා වශයෙන් හදුණාගෙන ඇති අතර ඔහුට නියත වශයෙන්ම කොරෝනා රෝගය වැළදී ඇති බව ස්විස්ටර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් තහවුරු කොට තිබේ.
මෙම පූජකවරයා මාර්තු මස 10 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කටුනායක ගුවන් තොටුපලිනි. යාපනයට ඔහු පැමිණෙන අතරවාරයේ අනුරාධපුර මැංගෝ මැංගෝ හෝටලයෙන් පලතුරු යුෂ පානය කොට ඇති අතර ඔහු යාපනය දක්වා පැමිණ ඇත්තේ කුළී රථයකිනි.
යාපනයේ අරියාලේ පූජාව පැවැත්වූ දේවස්ථානයේ ඔහු නවාතැන් ගෙන ඇති අතර ඔහුට ආහාර පානාදිය සපයා ඇත්තේ එම පල්ලිය අවට සිටින ඔහුගේ ඥාතින් හා බැතිමතුන් විසිනි.
මාර්තු මස 13 දා ඔහු යාපනය කන්කසන්තුරේ ආදී ප්‍රදේශ වල සංචාරය කොට ඇති අතර යාපනයේ බැංකුවකටද කන්කසන්තුරේ වෙළද පොළටද ගොස් භාණ්ඩ මිලට ගෙන ඇත.
අරියාලේ දේවස්ථානයේ පූජාව 15 වෙනිදා පවත්වා ඇති අතර එම දේවස්ථානයේ සීසීටීවී කැමරා පරීක්ෂා කල ආරක්ෂක අංශ වලට හා සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා වී ඇත්තේ එම පූජාවට 300 ත් 350 ත් අතර පිරිසක් සහභාගී වී සිටි බවය.
ඔවුන් යාපනය නාවට්කුළි මනිපායී නල්ලූර් වැනි ප්‍රදේශ වලින් මෙන්ම වෙනත් පළාත් වලින්ද සහභාගී වී තිබේ.
මාර්තු මස 15 දා රාත්‍රී කුලී රථයකින් ආපසු කොළඹ බලා ඔහු පැමිණෙමින් සිටියදී කිළිනොච්චිය මුරුකණ්ඩි කෝවිල අසලදී විවේක ගෙන තිබේ.
ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ මාර්තු මස 16වනදා වන අතර මුලින්ම ඔහු ඩුබායි ගුවන් තොටුපල දක්වා ගොස් අනතුරුව ස්විස්ටර්ලන්තය බලා ගොස් ඇත.
මේ පූජකවරයා ඇසුරු කල පිරිස හෝ මේ පිළිබදව වැඩි දුර තොරතුරු දන්නා අය 021-2217278 දුරකතන අංකයට හෝ 1999 අංකයට කතා කරණ ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.
රසාදි චතුරංගි ගමගේ -මව්බිම-
