Advertise with Giraya
NEWS

අදට මාස 11යි

පාස්කු ප්‍රහාරය සිදු වී මාර්තු (21) දිනට මාස 11ක් සම්පූර්ණ වන අද දිනයේ දීත් මුළු රටම ගැඹුරු නිහැඬියාවක ගිලෙමින් පවතී. පසුගිය වසරේ දී දැනුන බිය මේ වන විටත් ඇඳිරි නීතියෙන් නිහඬ වී මිනිසුන්ගේ සිත් තුළින් දෝංකාර දෙයි. ඒ කෝවිඩ් 19 මාරයා හේතුවෙන් ය.

පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් නිසා 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය. තවත් 500 කට අධීක පිරිසක් තුවාල ලැබීය. මාස 11ක් ගත වූ අද දිනයේ ත් දේවස්ථාන තුළ යාච්ඥාවන් සිදු කිරීමට හැකියාවක් නොමැත. මෙරට ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවල, විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් නවතා රජය ගෙනයන නිරෝධායන වැඩපිළිවලට සහාය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අද (21) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරු දෙදෙනෙකු විසින් පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා විශේෂ කමිටු දෙකක් හා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ද පත් කෙරුණි. නමුත් මේ කිසිදු කමිටුවකින් හෝ අවශ්‍ය විසඳුම මෙතෙක් ලැබී නොමැත. වරදකරුවන් හසු වී නොමැත. ප්‍රහාරය නිසා දිවි අහිමි වූවන්ට හෝ සදාකාලිකව ආබාධිත වූවන්ට සාධාරණයක් ලැබී නොමැත.

Giraya News Alerts

පසුගිය දා (18) අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අගරුදරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ඇතැම් කොමිෂන් සභා සහ කමිටු ඇතැම්විට එම සිද්ධියේ සත්‍ය වසන් කිරීම සඳහා කටයුතු කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බවයි.

කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරය එල්ල වී වසරක් පිරීමට මත්තෙන් තවත් මරණීය තර්ජනයක් වෙත රට මේ වන විටත් ඇද වැටී හමාරය. කෝවිඩ් 19 නිසා ජීවිත අවදානමින් මුළු රටම අවිනිශ්චිත තත්ත්වයකට පත් වී තිබේ. මේ වන විට පුද්ගලයින් 72 දෙනෙක් කෝවිඩ් 19 නිසා රෝහල්ගතව සිටියි. පාස්කු ප්‍රහාරය මෙන් නොව කෝවිඩ් 19 හට අන්තවාදයක් නොමැත. සිංහල, මුස්ලිම්, දමිල හෝ කම් නැත. වෛරසයට පක්ෂ, පාට, ජාති බේද පෙනෙන්නේ නැත. කෝවිඩ් 19 විසින් සියල්ලන්ගේම ආගමික කටයුතු නවතා ඇත.

තවත් වසරකින් නැවතත් ඔබේ ආදරණීයන් නොමැතිව ගෙවුණු කාලයක් ලෙස සැමරීමට ඉඩ නොතබා වගකීම් සහගත පුරවැසියෙකු ලෙස කටයුතු කරන්න. මුළු මහත් රටේම අනාගතය රැඳී ඇත්තේ අද ජනතාව මතය. නිවැරදි උපදෙස් පිළිපදින්න. තමන්ගේ මෙන්ම අනෙකාගේ ජීවිතය ද සුරක්ෂිත කිරීමේ වගකීම රැඳී ඇත්තේ ඔබේ දෑත මතය. අනෙකාගේ හුස්ම රැඳී ඇත්තේ ද ඔබේ හුස්ම මතය. වගකීම් සහිතව ආරක්ෂා වන්න.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top