Advertise with Giraya
POLITICS

රට අලුත් කරන දේශපාලනයේ දෙවැනි ඉනිමට සූදානම් – මහාචාර්ය චරිත හේරත්

රටේ අලුත් දේශපාලනයක් නිර්මාණය කිරීම සඳහා 2015 ජනවාරි 08 වැනිදා ආරම්භ කරපු සංග්‍රාමයේ දෙවැනි බරපතළ මැදිහත්වීම සිදු කිරීමට ඔවුන් මේ අප්‍රේල් මාසයේ 25 වැනිදාට සූදානම් වන බව මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු මේ බව පැවසුවේ පෙරේදා (09 වැනිදා) පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රෝටස් කීර්ති මහතා විසින් සංවිධානය කළ පන්නල- හෙට්ටිරිප්පුව ප්‍රදේශයේදී ජන හමුවකට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කියා සිටියේය.

‘‘අපේ සටන මේ ඇතුළේ කවුරුත් එක්ක නෙමෙයි. මේ රට පසුපසට තල්ලු කරන රටේ අනාගතය අඳුරට හෙලන දේශපාලන බලවේග ආයිත් මතුවෙන එක නැවැත්වීමේ සටනයි. 2015 ජනවාරි 08 වැනිදා අපි අපේ පරාජය භාරගත්තේ මේ රටේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආපහු ආණ්ඩුවක් අරන් දෙන්න අරගල කරන්න සපථ කරගනිමින්. ඒ ගමන අපේ නායකයෝ වට කරලා දඬුවම් පාලනයක් අවුරුදු 5 ක් ගෙනඑද්දි අපි ඒ පාලනයට මුක්කු ගහන්න කවදාවත් ගියේ නෑ.

ඒ නිසා අපි මේක කියන්න බයත් නෑ, ණයත් නෑ. අද මේ අපේ දේශපාලනයේ සමහර කණ්ඩායම් අපේ අරමුණ එක්සත් ජාතික පක්ෂය පරදන්න හදනකොට අරමුණ වෙනත් පැතිවලට ගේන්න හදනවා. අපි හඳට ඇඟිල්ල දික් කරනකොට ඇඟිල්ල දිහා බලන එක තමයි අද සමහරුන්ගේ දේශපාලනය වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ ආසනයේ හැමදාම වමට බරවෙච්ච මේ පිටිගල් කෝරලය දේශපාලනය පහුගිය අවුරුදු 30, 35 පුරාවටම හොඳටම පුරුදුයි. අද මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත මේ රටේ දේශපාලන කරළියට ගේන්න එතුමා පසුපස ගිහිල්ලා දේශපාලන ඉල්ලීම කරපු ජනතාව ඉන්න ප්‍රදේශයක් මේක. මේ ප්‍රදේශයේ ජනතාව මේ ජයග්‍රහණයේ අයිතිකාරයෝ වෙන්නේ අද ඊයේ නෙමේ. අපි පැරදිලා අමාරුවේ වැටිච්ච වෙලාවේ. අපිට ආණ්ඩුව නැතිවෙලා අපිට පක්ෂය නැතිවෙලා ඉන්න වෙලාවේ අලුතින් දේශපාලන කඳවුරක් ඇති කරන්න මැදිවෙච්චි ජනතාවක් මෙතන ඉන්නේ. අපේ දේශපාලන අරමුණ ඉතාම පැහැදිලියි. මේ කටුගම්පල ආසනය හැමදාම ප්‍රගතිශීලී පැත්තේ හිටියේ. 1977 වසරේ පැරදුණාට පස්සේ වැඩියෙන්ම බැටකාපු ජනතාව හිටියේ මේ පිටිගල් කෝරලයේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පසුගිය නොවැම්බර් 16 වැනිදා මේ රටේ ජනතාව භාරදුන්නේ ඉතාමත්ම බරපතළ වගකීමක්. මේ රටේ දේශපාලනය අලුත් කරන්න. අලුත් දේශපාලනයක් නිර්මාණය කරන්නයි එතුමන්ට විශාල බලයක් දුන්නේ. ඒ නිසා ඒ සඳහා යන ගමනේ දෙවැනි පියවර,දෙවැනි ඉනිම අපි සූදානම් කරමින් ඉන්නේ. නැවත වතාවක් අපේ දේශපාලන ගමන බරපතළ අර්බුදයකට යවන විදියේ තීරණ අපි ඊළඟ මැතිවරණයේදි ගත යුතු නෑ. තමන්ගේ දේශපාලන පිල ඔසවා තබන මන්ත්‍රීවරු හදනවා වෙනුවට තමන්ගේ දේශපාලන පිල පසුපසට හරවන ,එය දමා පලා යන දේශපාලනය අපි මේ දිස්ත්‍රික්කයේ නැවත කළ යුතු නෑ.’’ යැයි පැවසීය.

තිළිණි පවිත්‍රා අධිකාරි – අරුණ-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top