එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා සියල්ල අවසන් බවත් කැමති ඕනෑම කෙනෙකුට කොන්දේසි විරහිතව සමගි ජනබලවේගය සමඟ එක් විය හැකි බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු පැවසුවේ “අප යන ගමනට එකතු වෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් කවුරුවත් උඩ දාන්න නලවන්න අපට අවශ්‍ය නෑ .එක්සත් ජාතික පක්ෂයත් සමඟ පවත්වන සාකච්ඡා සියල්ල දැන් අවසන්. ඒ නිසා කිසිදු කොන්දේසියකට මින් ඉදිරියට අපි ඇහුම්කන් දෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ අයට අපත් එක්ක එකතු වෙනවා නම් එකතු වෙන්න පුළුවන්. නමුත් කිසිඳු කොන්දේසියක් නැතුව. එහෙම ආවත් නාමයෝජනා දෙන්නේ හොදට හොයල බලලා තමා. මොකද අප යන ගමනට කිසිසේත් ගැලපෙන්නේ නැති පුද්ගලයන් කීප දෙනෙකුත් එතන ඉන්නව.” යනුවෙනි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ වේයන්ගොඩ කොට්ටල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.
“සමහරුන්ට දේශපාලන ජීවිතයට අවුරුදු 30 ,40 ගතවී තිබුනාට මගේ දේශපාලන ජීවිතයට තාම ගත වී තිබෙන්නේ අවුරුදු 10 ක් පමණයි. තව මම දේශපාලනයේ දණ ගාන බබෙක් වගේ. ඒ අවුරුදු දහයෙන් අවුරුදු 4 ක් මම එක්සත් ජාතික පක්ෂයේ හිටිය. තවත් වසර 2 1/2 ක් හිර ගෙදර හිටිය .ඉතුරු කාලයේ මම එළියෙ ඉඳගෙන රාජපක්ෂ විරෝධී සටන මෙහෙයුව. ඒ කාලය තුළ මට වසර 25 ක් අත්දැකීම් තියෙන අයට වැඩිය අත්දැකීම් ලබා ගන්න හැකි වුණා. මම දේශපාලන කාලය තුළ කිසිදු කෙනෙක්ගෙන් මුදල් අරගෙන නෑ. අඩුම ගානේ තණකොල පිඩෑල්ලක්වත් මම ගෙදර ගෙනිහින් නෑ. නමුත් මම පුලුවන් විදිහට සියලුම දෙනාට අත හිත දෙනව. ඉදිරි මහ මැතිවරණය අපි පරාද වුනත් මම තමුන්නාන්සේලා මුණගැහෙන්න එනව.
වර්තමානයේ දී එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුදය ගැන තමුන්නාන්සේලා දන්නව. පක්ෂයේ එම අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නෙ පක්ෂයේ නායකයා වටා. පක්ෂ නායක එපා කියලා පක්ෂයෙන් 95% ක්ම කියනවා .ඒ නිසා අපට බෑ ඒ නායකයාව කරේ තියාගෙන යන්න. අපි ජනාධිපතිවරණයෙදි එක නායකයෙක් එක්ක ගියා වගේම මේ මැතිවරණයේදී එයා එක්ක යන්න තමා අපට අවශ්‍ය. පක්ෂ නායකයා ඉවත් වෙන්න නැති එක ප්‍රශ්නයක්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නව 25 ක් විතර. ඒ ඔක්කොම දේශපාලනඥයෝ නෙමේ, පක්ෂ නායකයාගේ යාලුවෝ. ඒ හරහා එයා බලාපොරොත්තු වෙනව 2025 වෙනකන් පක්ෂයේ නායකයා විදිහට ඉන්න. එහෙම ගියොත් 2025 වෙද්දි පක්ෂයේ ඉතුරු වෙන්නේ එතුමා පමණයි. ඒ නිසා අපි තීරණය කළා අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ වුණත් සමගි ජන බලවේගය ගොඩ නගන්න. දැන් සමගී ජන බලවේගය සමග එකතු වෙන මන්ත්‍රීවරුන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනව. මේ විදිහට සමගි ජන බලවේගය බලන් ඉන්දැද්දිම ශක්තිමත් වෙනව. එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ පිල බලන් ඉන්දැද්දිම පිරිහෙමින් පවතිනව. අපි බලාපොරොත්තු වෙනව ඒ අයත් ඇවිල්ල සමගි ජන බලවේගය සමඟ එකතු වෙයි කියල. අපි සමගි ජනබලවේගය ගොඩ නගලා තියෙන්නේ අලුත් මුහුණුවරක් එක්ක අලුත් ගමනක් යන්න. මේක ප්‍රතිරූපය වෙනස් ගමනක්. මේ අනුව තමා අපි ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නේ, අපේ ලකුණු දුරකථන, ඒක ස්ථිරයි ,ඒක සාක්කුවේ දාගන්න දුරකථන නෙමේ .මේ දුරකථනය මේසෙ උඩ තියෙන කිලෝ 2ක් විතර බර දුරකථනයක්.
අපේ පක්ෂය පසුගිය අවුරුදු 4 1/2 තුළ දෙවතාවක් විශාල පරාජයකට පත්වුණා. අපි ජනාධිපතිවරණයේදී මේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 25000 කින් ජයග්‍රහණය කලා. වර්තමානයේ දී ජනාධිපතිවරණය තුන්ලක්ෂ පනස් දහසකින් පරාදයි. මේ පරාජයට හේතු තියෙනව. මේවට පක්ෂ නායකයා අනිවාර්යෙන් වගකියන්න ඕන. ප්‍රධාන හේතු හැටියට මම දකින්නේ පාක්ෂිකයා බලා නොගැනීම. පාක්ෂිකයන්ට රැකියා දෙන්න ක්‍රියාමාර්ගයක් හදාගන්න නායකයක් උනන්දුවක් තිබුනේ නෑ .
ඒ වගේම අපි ආවේ හොරු අල්ලන්න කියලා. ඒ ඇවිත් මාස දෙකෙන් බැඳුම්කරයට ගැහුව. ඒ නිසා බැංකු තිබුණේ අගමැතිවරයා යටතේ නම් ඔහු අනිවායෙන්ම මේ සිද්ධියට වගකියන්න ඕනේ. මොකද බැඳුම්කර දෙන්නෙ අගමැතිවරයා දැනුවත්ව. කලින් අය මේවා කරාද කියන එක අපට වැදගත් නෑ. එහෙම කරානම් ඒ අයට දඬුවම් දෙන්න ඕන. එහෙම නැතුව එයාල කළා කියල අපිත් එහෙම කරන්න අවශ්‍ය නෑ . ඒ අනුව බැඳුම්කර සිද්ධිය නිසාත් අපේ ආණ්ඩුව පිරිහීමට පත් වුණා.
අනිත් කාරනේ තමා අපි මැතිවරණ වේදිකාවල කියපු කරපු යම් යම් දේවල්. මේ රටේ 70% තියෙන්නේ බෞද්ධ ඡන්ද නමුත් අපේ යම් යම් අය කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒ අවස්ථාවල දී භික්ෂූන් වහන්සේලා අපට විරුද්ධව එක පෙළට හිටගත්ත. ඒ සිද්ධීන් තවත් උලුප්පලා පෙන්නන්න අපේ විරුද්ධ පක්ෂය කටයුතු කරා. ඒ අනුවත් අපේ පක්ෂය කඩා වැටෙන්න බලපෑවා.”
