කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත් එහිදී වරදකරු වුවහොත් මාස 6ක සිරදඬුවමක් විඳීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. එසේම, රුපියල් දෙදහසේ සිට රුපියල් දසදහසක් දක්වා දඩ මුදලකට යටත් විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
තවද මෙම කාල සීමාව තුළ නම් කරන ලද රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.
මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (11 වැනිදා) ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.
තවද 1897 අංක 3 දරන රෝග නිරෝධායනය වැළැක්වීමේ ආඥා පනතට අනුව අමාත්‍යවරයාට රෙගුලාසි පැනවීමට හැකියාවක් පවතියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙවැනි නීතිවලට අනුගත නොවන පුද්ගලයන් රටේ සියලු ජනතාව සහ සෞඛ්‍ය අංශ අවදානමකට ලක් කරන බවයි.
එසේම, කොවිඩ් 19 රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පාලනය කිරීම වෙනුවෙන් සිදුකරණ නිරෝධායන ක්‍රියාවලිය කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව රජය අවධාරණය කරයි. ඒ අනුව එම ක්‍රියාවලිය ප්‍රතිකෂේප කිරීමට නීතිමය වශයෙන් හෝ සාමාජිීය වශයෙන් අයිතියක් නොමැති බවත් තම තමන්ගේ සමීපතමයන්ගේ හා රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සදහා එයට අනුගතවී කටයුතු කරන ලෙසත් රජය දන්වා සිටියි.
