කටාර් හා කුවේට් රාජ්‍යවලට පැමිණෙන ගුවන් ගමන් මේ වනවිට තාවකාලිකව නතර කර ඇති අතර, අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහාද මෙම පියවර ගැනීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියි.
නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිර යාම හේතුවෙන් විදේශ රටවල රැකියා සඳහා පිටත්ව යාම තාවකාලිකව කල්දමන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කරයි.
මේ වනවිට ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් පවතින “කොවිඩ් 19” හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන්, මැද පෙරදිග රටවල් ඇතුළු වෙනත් රටවල විදේශ රැකියා සඳහා යොමුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළයුතු බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එසේම දැනට විදේශගතව සේවය කරන ශ්‍රි ලාංකිකයින් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රි ලාංකිකයින් සම්බන්ධව ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල අදාළ බලධාරීන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව බව ප්‍රකාශ කරන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට, වයිරසය පැතිර යන රටවල තානාපති කාර්යාල හරහා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයාබැලීම් සිදුකරන බවද සභාපතිවරයා පැවසුවා.
නමුත්, මැදපෙරදිග රටවල් ඇතුළුව දකුණු කොරියාව හා ඉතාලිය වැනි රටවල සේවය කරන කිසිම කෙනකු මෙරටට ගෙන ඒමට කාර්යාංශය පියවර නොගන්නා බවත්, අවශ්‍ය පුද්ගලයන්ට එරට හාම්පුතුන්ගේ අවසරය මත මෙරටට පැමිණීමට හැකි බවත් කමල් රත්වත්ත මහතා කීය.
