Advertise with Giraya
NEWS

ජ’පුර සිසුවාගේ සිද්ධිය ගැන හොයන්න විශ්වවිද්‍යාලයෙන් කමිටු දෙකක්… සිසුවා සුව කරන්න විදෙස් ප්‍රතිකාර දෙන්න සූදානම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨයේ ශිෂ්‍යයාට සිදු වූ බරපතල අනතුර පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් එක් කමිටුවක් ද කළමනාකරණ පීඨය මඟින් එක් කමිටුවක් ද පත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර එම සිද්ධිය දුටු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුගෙන් එම සිද්ධිය පිළිබඳව ප්‍රකශයක් ඊයේ (10) දිනයේ දී ලබා ගෙන ඇති අතර අනතුරට පත් ශිෂ්‍යයා කඩිනමින් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත්තේ ද එම ශිෂ්‍යයා විසින් ය.

එසේම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් දස දෙනෙකු පමණ ඊයේ (10) විශ්‍වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවත් මේ වනවිට සැකකටයුතු සිසුන් දෙදෙනෙකු හදුනාගෙන තිබෙන බවත් වාර්තා වේ. මිට අමතරව, පොලීසිය විසින් ඊයේ (10) දිනයේ දී අනතුරට පත් ශිෂ්‍යයාගේ සිරුරේ ගැටුණු ටයරයේ ඇඟිලි සලකුණු ලබා ගැනිමට ද කටයුතු කර ඇත.

Giraya News Alerts

අනතුරට පත් වූ ශිෂ්‍යයා 2018 වසරේ උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබා ගෙන මේ වසරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපන කටයුතු කරමින් සිටි පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයා වේ. අනතුර නිසා ඔහුගේ හිසේ ඇති වූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත. මේ වන විටත්, ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර, කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර එක්කයේ ප්‍රතිකාර ලබන පසිඳු හිරුෂාන් සිසුවා සුවකර ගැනීම සඳහා විදේශ රටකට ගෙනයෑමට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් සඳහා ඕනෑම මුදලක් ලබාදීමට විශ්වවිද්‍යාලය තීරණය කළ බව වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකතනයෙන් අමතා දැනුම් දී ඇත.

එසේම, අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිසුවාගේ සහෝදරියට ද දුරකතනයෙන් අමතා අදාළ සිද්ධිය ගැන සහ සිසුවාගේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු විමසා ඇත.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පසිඳු හිරුෂාන් සිසුවාගේ සුවදුක් සොයා බැලීම සඳහා තමා ඊයේ (10) කොළඹ ජාතික රෝහල වෙත ගිය බවත් එහි දී සිසුවා තමාට ප්‍රතිචාර දැක්වූ බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top