කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 4,000 ඉක්මවා ඇති පසුබිමක් තුළ පවතින තත්ත්වය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
නවතම දත්ත වාර්තාවන්ට අනුව මේවනවිට ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්. වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 4,009 ක් වනවා. ඉන් මරණ 3,120 ක්ම වාර්තා වන්නේ චීනයෙන්. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වුණු නව කොරෝනා වෛරසය චීනය පුරා පැතිර ගොස් ආසියාව ප‍්‍රමුඛ අනෙකුත් රටවල් වෙත ද පැතිරෙන විට එය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සියළුදෙනාගේ අවධානය යොමුව තිබුණා.
එහෙත් නව කොරෝනා වෛරසය යුරෝපය ආක‍්‍රමණය කිරීමෙන් පසු එය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සිය අප‍්‍රසාදය ද පළ කරනවා.
මේ අතර නව කොරෝනා වෛරසයේ අඛණ්ඩ ව්‍යාප්තිය හමුවේ සමස්ත ඉතාලියම වසා දමා තිබෙනවා. අග‍්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් සිය රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව ඉතාලිය පුරා මහජන එක්රැස්වීම් තහනම් වන අතර සියලූදෙනා හට නිවෙස්තුලට වී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ. සංචාරක තහනම ද එලෙසම කි‍්‍රයාත්මක අතර අත්‍යවශ්‍ය ගමන් සඳහා අවසරයක් ලබාගත යුතු වනවා.
අද උදෑසන වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා මරණ සංඛ්‍යාව 463 ක්. ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියේ නව කොරෝනා මරණ 97 ක් වාර්තා වනවා. රට තුළ සිටින සමස්ථ ආසාදිතයින් ගණන 9,172 ක්. ඒ අනුව චීනයට පසුව මේවනවිට නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි.
මේ අතර ප්‍රංශයේ සංස්කෘතික ඇමතිරවරයා වන 46 හැවිරිදි Frank Riester ඇමතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වීඇති අතර අමාත්‍යාංශයේ සේවය කරන වෛරසය ආසාදිත අයෙකුගෙන් එය වැළඳෙන්නට ඇතැයි වාර්තා වේ.
සංස්කෘතික ඇමතිවරයා නිරන්තරයෙන් මහජනතාන සමඟ ගැවසෙන්නනෙක් වන අතර සතියකට පෙර ඔහු ප්‍රංශ සිනමා සම්මාන උළෙලකට ද පසුගිය සිකුරාදා දින ප්‍රංශ ගුවන් විදුලියේ විශේෂ සංවත්සර වැඩසටහනකට ද එක් වී තිබේ. ඊටත් වඩා බරපතල කාරණාවක් නම් සියළුම මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපතිතුමා මුලසුන ගනිමින් සතියකට වරක් පැවැත්වෙන රජයේ ඇමතිරවරුන්ගේ රැස්වීමට ද ඔහු සහභාගී වී තිබීමයි.
