අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මව්බිම පුවත්පත සිදුකළ සම්පූර්ණ සාකච්ඡාවයි මේ.
බලයට පත්වෙලා ගෙවුණු මාස තුන ඇතුළත ආණ්ඩුව හරි ට්‍රැක් එකට දාගන්න බැරිවුණා කියලා බොහෝදෙනෙක් චෝදනා කරනවා නේද?
ගෙවුණු දින 108 තුළදී වෙනත් කිසිම ආණ්ඩුවක් නොගත් ආකාරයේ තීන්දු, තීරණ රැසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අරගෙන තිබෙනවා. ඒවා තීන්දු තීරණ පමණක් නොවන ක්‍රියාත්මක මට්ටමේ දේවල්. ප්‍රධාන වශයෙන් මේ රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තිබෙනවා. රටේ නීතියේ ආධිපත්‍යය වෙන කවර කාලයකටත් වඩා සැකයකින් තොරව තහවුරු වී තිබෙනවා. දින 100ක් වගේ කෙටි කාලයක් තුළ රාජ්‍ය නායකයා පරමාදර්ශී හැසිරීමක් පෙන්වා තිබෙනවා. අපි දකින බොහෝ ප්‍රශ්න ඇත්තටම අසංස්කෘතික දේශපාලනයේ අතුරු ඵලනේ. එතුමා ඒ දේශපාලන අසංස්කෘතිය යහපත් කිරීම ඉතාම මැනවින් කරනවා. එයම දැවැන්ත ජයග්‍රහණයක්.
අලුතින් හදපු සන්ධානෙටත් දීර්ඝායුෂ නැහැ වගේ නේද?
මම පේනකාරයෙක්වත්, අංජනම් බලන කෙනෙක්වත් නෙවෙයි. නමුත් සන්ධානය පිහිටුවීමේ මූලික සාකච්ඡාවේ සිට අඛණ්ඩව සිටි කෙනෙක් විධියට මට කියන්න පුළුවන් එජාප විරෝධී පෙරමුණක්, ජාතික මතවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් තැනීමේ කිසිදු වරදක් නැති බව. ඒ සන්ධානය ගොඩනැඟීමේදී අපේ පාර්ශ්වය තුළ තිබුණා පක්ෂයේ ලකුණ අහිමි වෙයි ආදී වූ විවිධ මත. දැන් ඒ සියලු මතවලට විසඳුම් ලැබිලා තියෙනවා. පක්ෂ නායකත්වය පිළිබඳව පක්ෂ ලාංඡනය පිළිබඳව අපේ පාර්ශ්වය තබා තිබූ බලාපොරොත්තු කඩ නොවී සියල්ල සිදුවී තිබෙනවා.
නමුත් බලාපොරොත්තු නොවූ අයුරින් මෛත්‍රිපාල සිරිසේන මහත්මයා සභාපති වුණා. මේකට අකැමැති අය විවිධ කතා ප්‍රසිද්ධියේම කියනවා. සන්ධානයක් තුළ මෙවැනි දෑ විය හැකියිද?
මුළු ලෝකයේම සන්ධාන දේශපාලනයේ ස්වභාවය ඕක තමයි. එකම සන්ධානයේ ඉඳලත් වෙනම තරග කරපු අවස්ථාත් තිබෙනවානේ. මම කියන්නේ කිසිවෙක් මේවාට කලබල වියයුතු නැහැ. හැබැයි ඕනෑම කෙනෙක්ට තමන්ද කැමැති මතයක් ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ විවේචන කරන අතරේ සන්ධාන කවය තුළ අපි එකතු වෙනවා. නමුත් අභ්‍යන්තර විවේචන තිබෙනවා. ඒක ලෝකය තුළත් සන්ධාන දේශපාලනය තුළත් පවතින ස්වභාවය. සන්ධානයක් ඇතුළේ කිසිම විටක දේශපාලන මතවාද සමාන වෙන්නේ නැහැනේ.
මහ මැතිවරණය කට උඩ තියාගෙන මෙවැනි මත ගැටුම් ඇතිකර ගැනීම වාසිදායක නැහැ නේද?
ඇත්තටම මම නම් පෞද්ගලිකව ඔවැනි දේවල් කෙරෙහි එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ මොහොතේ අපි පොදු අරමුණක් ඇතිව එකම ගමනක් යෑමටයි අරමුණු කරගත යුත්තේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දර්ශනයට ගැළපෙන ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ අතට ලබා දීම තමයි අපේ මූලිකම අරමුණ විය යුත්තේ. මොකද රට ඉදිරියේ තිබෙන අභියෝග දෙස බැලුවම සාමාන්‍ය සරල බහුතරයක ආණ්ඩුවක් අරන් ඒවාට මුහුණ දෙන්න බැහැ. බොහොමයක් අභියෝග තුනෙන් දෙකේ බලයකින් ජය ගත යුතුමයි. ඒවට මුහුණ දෙන්නට නම් අපිට පුළුල් ජයග්‍රහණයක් වෙනුවෙන් යන පුළුල් පෙරමුණක් තිබිය යුතුයි. සිල්ලර බලයක් සහිත ආණ්ඩුවක් සමඟ මේක කරන්න බැහැ.
දැන් බලන්න එජාපය දිහා. මැතිවරණයේ ඉවුර ගාවටම ඇවිල්ලත් එකට යන දේශපාලන ගමනක් නැහැ. ප්‍රාථමික විධියට ගැටුම් ඇතිවෙලා. සජිත් පාර්ශ්වය රනිල් වික්‍රමසිංහ දිහා බලන්නෙ කොරෝනා වැලඳුණු චීන ජාතික රෝගියෙක් දිහා බලනවා වගේ. මැතිවරණයකට දින 50ක් තියාගෙන එහෙම වුණාම ඒ සන්ධානයට අනාගතයක් නැහැ. නමුත් අපේ සන්ධානය තුළ ඔවැනි තත්ත්වයක් නැහැ.
ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරපු ආණ්ඩුවක් කියන චෝදනාව නැඟෙන්න පටන් අරන්. එය කනට ඇහෙන විට මොකද හිතෙන්නේ?
ඒක සාධාරණ චෝදනාවක් වෙන්න පුළුවන්. නමුත් අපි මෙන්න මේක තේරුම් ගන්න අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වුණු බව ඇත්ත. නමුත් මේ විසුරුවා හැරියේ රනිල් මහත්තයාගේ පාර්ලිමේන්තුව.
නොමිලයේ පොහොර දෙනවා කිව්වා. දරුවන්ට නිල ඇඳුම් කට්ටල්, සපත්තු දෙනවා කිව්වා. දැන් මේ කිසිවක් වෙලා නැහැ. ඔවැනි උත්තරයකින් මේවා සාධාරණීකරණය කරන්න පුළුවන්ද?
පොහොර වෙනුවෙන් අත් උස්සන්න කිව්වම අත් 89යි ඉස්සෙන්නේ. ඊට එරෙහිව අත් 136ක් ඉස්සෙනවා. එවැනි ආණ්ඩුවක් ආවිට අලුත් කිසිම දෙයක් කරන්න බැහැ. එක් පැත්තකින් මේක අය – වැයක් නැති රාජ්‍යයක්. මුදල් ප්‍රතිපාදන කිසිවක් වෙන් කරන්න බැහැ. ඒ නිසා මැතිවරණ ප්‍රකාශය තුළ තිබෙන සහන පැකේජ ක්‍රියාත්මක කිරීමට අපිට මුදල් නැහැ. ඒ නිසා තමයි අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය. ඒ පාර්ලිමේන්තුව මැයි මස 14 රැස්වෙනවා. ඉන්පසුව සති දෙක තුනකින් අය-වැය ඉදිරිපත් කරනවා. අන්න එය තුළ අපි ඔය කියපු කාරණාවලට එනවා. ඇත්තටම අපි කියපු දේවල් මේ බිමේ පැළ කරන්න බැරිවුණේ ආර්ථික කාරණා එක්කයි.
මැතිවරණ වේදිකාවේ එවැනි පොරොන්දු දෙනකොට මේ වගේ තත්ත්වයක් සහ අවදානමක් තිබෙන බව දැන සිටියේ නැද්ද? නැත්නම් දැන දැනම ජනතාව ඇන්දෙව්වාද?
අපි දැනගෙන ඉන්නවා. නමුත් අපි බලාපොරොත්තු වුණේ කඩිනමින් පාර්ලිමේන්තුව විසිරුවා ගැනීමට අවස්ථාවක් ලැබෙයි කියලයි. විරුද්ධ පක්ෂයත් ඒ සඳහා උදවු වෙයි කියලයි අපි හිතුවේ. නමුත් අපේ ප්‍රධාන තර්කය ඕක නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වලංගු අවුරුදු 05ට මිස මාස 03කට නෙමෙයි. වසර 05ක්, ඒ කියන්නේ දින 1825ක්. ඒකෙන් තවම ගෙවිලා තියෙන්නේ දින 106යි. ඒ නිසා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන යෝජනා දින 106න් ඉටු කළේ නැහැ කියලා නඟන චෝදනාව යුක්තිසහගතයි කියලා මම හිතන්නේ නැහැ.
ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙන්නේ ඔහුට, ඔහුගේ මතයට අවනත පාර්ලිමේන්තුවක් හැදුණු දාටයි.
මොන ආණ්ඩුව ආවත් මුල් මාස දෙක තුන තුළ ඔය කතාවම කියනවා. ජනතාවගේ පැත්තෙන් එය යුක්ති සහගතද?
නැහැ, මම ඒ දෙස බලන්නේ ඒ ආකාරයට නෙමෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මිල වැඩිවීමක් තියෙනවා. ඒක ඇත්ත. ඒකට පැවැති කාලගුණ තත්ත්වය බලපෑවා. මේවා ස්වාභාවිකවම අපේ රට තුළ සිදුවුණු දේවල්. අලුත් දේවල් නෙවේ. ඉදිරි සති දෙක තුන ඇතුළත මේක පාලනය වෙයි. අලුත් අවුරුද්දට පෙර මෙය පාලනය වෙයි. අලුත් අවුරුද්දට පෙර මෙය පාලනය වන බව මම ඉතා වගකීමෙන් කියනවා. ඒ වගේම අපි පිළිගන්නවා මේ මොහොතේ සාමාන්‍ය ජනතාවට ඉසිලිය නොහැකි ආකාරයට බඩු මිල වැඩි වී තිබෙන බව.
බිලියන 400කට අධික බිල් ප්‍රමාණයක් තිබෙනවා ගෙවීමට. මෙතරම් මූල්‍ය අර්බුදයක් තිබියදී ලබා දීපු බදු සහන ජනතාවට ලැබෙන්නේ නැහැ. ප්‍රායෝගික නැහැ කියන චෝදනාවත් නැඟෙනවා?
සහන ලබා දීම ඇතුළේ අපි අපේක්ෂා කළේ ආර්ථිකයේ සක්‍රිය නැඟිටීමක්. ආර්ථිකය මියැදිලයි තිබුණේ. ඇතැම් වෙලාවට දරුණු පසුබෑම් මැද්දේ වුවත් එවැනි තීරණ ගන්න වෙනවා. යුද්ධය මැද්දෙත් එවැනි තීරණ අරන් තිබෙනවා.
ආණ්ඩුව ලබා දීපු බදු සහන වුණත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විතරයි. සාමාන්‍ය ජනයාට ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ නැති තරම් නේද?
ඒක ඇත්ත. ඒක අපි පිළිගන්නා කාරණාවක්.
ඒ ගැන ඔබලා කුමක් හෝ පසුවිපරමක් කළාද?
පසුගිය දිනෙක කැබිනට් මණ්ඩලය තුළත් මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපේ ව්‍යාපාරිකයෝ, ණයකරුවෝ බවට පත්වෙලා. රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට මහ බැංකුවෙන් උපදෙස් දුන්නා ඒ අයට යම් සහනයක් දෙන්න කියලා. නමුත් ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙලා නැහැ. ආර්ථිකයට දීපු එන්නත ක්ෂණිකව ගමන් නොකරන අවස්ථා තිබෙනවා. එය අවසාන පරමාර්ථය තෙක් ගමන් කිරීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා කාලය පිළිබඳව යම් ගැටලුවක් තිබෙනවා. ඇත්තටම ඒක ප්‍රතිපත්තිමය ගැටලුවක් නෙවෙයි. ඒ තත්ත්වය අපි වටහාගෙන තිබෙන නිසා එය කඩිනමින් විසඳන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරනවා.
ඔබ පෙරත් සඳහන් කළා ජනාධිපතිතුමා විවිධ ආදර්ශ ලබා දෙමින් සිටින බව?
ඔව්.
නාස්තිය අවම කිරීම, මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ආදී වශයෙන් බොහෝ දෑ ජනාධිපතිවරයා සිදුකළා. ඉදිරි පාර්ලිමේන්තුව තුළත් මේ දේවල් ඒ ආකාරයටම සිදු වෙයිද?
රාජ්‍ය නායකයාගේ ස්ථාවරය අනුව තමයි එය සිදුවෙන්නේ. දැනටමත් බොහෝ දෑ එතුමා කරලම පෙන්නුවා. ඇත්තටම එතුමා දැන් දිනලා ඉවරනේ. දැන් තියෙන්නේ වෙනත් අයගේ ඡන්දයක්නේ. ඕනෑනම් එතුමාට වෙනම ගමනක් යන්න පුළුවන්නේ. නමුත් එහෙම දෙයක් පේන්න නැහැනේ. එතුමා සමස්තයම නිවැරදි කරගෙනයි මේ ගමන යන්න හදන්නේ කියන එක අපිට පේනවනේ. රටේ ජනතාවත් මේ දේවල් ගැන සුබවාදීව බැලිය යුතුයි. දැන් බලන්න ජිනීවා ගිවිසුම ගැන ගත්තු තීරණය. සාමාන්‍යයෙන් බොහෝ නායකයෝ එවැනි තීන්දු ගන්න බිය වෙනවනේ. නමුත් මේ නායකයා එහෙම නැහැ.
ඔබ ජිනීවා ගිවිසුම ගැන කතා කරපු නිසා ඒ ගැනත් ප්‍රතිවාදීන් කරන චෝදනා ගැන අහන්නම වෙනවා?
ප්‍රතිවාදීන් ඉතින් ස්වභාවයෙන්ම චෝදනා නඟනවා. එය ස්වභාවයනේ.
එහෙදී කියන දේ නෙමෙයි රටට කියන්නේ, කියන තරම් ලේසියෙන් එහෙම කරන්න බැහැ, අවදානම තිබෙන්නේ ඉදිරියට වගේ කතා බොහොමයක් ප්‍රතිවාදීන් කියනවා?
රටට එරෙහිව නඟපු චෝදනාවකට සම අනුග්‍රහය දක්වන රටක් මේ ලෝකය තුළ තිබෙනවා නම් ඒ අපේ රට විතරමයි. මේක ලෝක දේශපාලන වංශකතාවටම අලුත් දෙයක්. එක්සත් ජාතීන්ගේ ඉතිහාසය තුළත් පළමුවැනි වතාවටයි කිසියම් රාජ්‍යයක් එම රාජ්‍යයටම එරෙහිව කරන චෝදනාවලට අනුග්‍රහය දක්වන්නේ. මේක හොඳද, නරකද?, මේකට සම අනුග්‍රාහකත්වය දෙමින් ඔවුන් වසර 05ක්ම හිටියනේ. මොකක්ද ලැබුණු දේ? කිසිවක් ලැබුණේ නැහැනේ. ජාත්‍යන්තර මිතුරන් රැසක් නව ආණ්ඩුව හදාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් දැවැන්ත රාජ්‍යයන් ගණනාවක් පෙනී සිටිනවා. ඇත්තටම මේක රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ගත්තු තීන්දුවක්. මේක ක්‍රියාත්මක කිරීමේදී තමාවත් දැනගෙන සිටියේ නැති බව එවක සිටි ජනාධිපතිවරයා පවසනවා. එතුමටත් නොකියයි මේක අස්සන් කරලා තියෙන්නේ.
නගර සභා ගැසට් කරනවා, ඉවත් කරනවා. අධ්‍යක්ෂ තනතුරුවලට පුද්ගලයෝ පත් කරනවා ඉවත් කරනවා. ඇයි මෙහෙම වෙන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර එකඟතාවක් නැති නිසාද?
කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඕනෑම ඇමැතිවරයකුට පුළුවන්. අදාළ විෂයභාර ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන්න පෙර මේක ඉදිරිපත් කරනවද නැද්ද කියලා සාකච්ඡා කරන්නේ නැහැනේ. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා සාකච්ඡාවට ගත්තම අපි අහෝසි කළා. ඒක සාමාන්‍යයිනේ. දැන් මේ මෙතැන මගේ මේසය උඩ තියෙන්නේ ඒ වගේ කැබිනට් පත්‍රිකා කිහිපයක්. ඒවා රහස්‍යයි. ඒ පිළිබඳව අනෙක් අය දන්නේ නැහැ. එය අභ්‍යන්තර මත ගැටුමක් නෙවෙයි. දේශපාලන නෂ්ටකාමයෙන් පෙළෙන ඇතැම් රෝගීන් තමයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර මතගැටුම් තිබෙනවා කියලා කියන්නේ. එය ඔවුන් දකින සිහිනයක්. ඒ සිහිනය දකින අයට මම බාධා නොකොට සුව නින්දක් ප්‍රාර්ථනා කරනවා.
බලයට පත්වුණු ගමන් ඉරලා විසිකරනවා කියපු MCC ගිවිසුම ඇයි නැවත අධ්‍යයනය කරන්න හිතුණේ?
අපි ඒකට කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ ආරම්භක වාර්තාවක් දුන්නා. අවසාන වාර්තාව ඉදිරියේදී දෙයි. මම හිතනවා ඒ විද්වත් කමිටුව රටට ආදරය කරන කමිටුවක්. ඒ නිසා රටට අහිතකර කිසිදු දෙයක් වෙන්නේ නැහැ. අපේ කාලයෙත් ක්‍රියාත්මක වුණු සමහර දේවල් තිබුණානේ. ඔය කියන චෝදනාව එන්නේ ඒවට එකතු කරපු ඇතැම් දේවල් නිසානේ. ඇමෙරිකාව කියන්නේ අපේ සතුරු රාජ්‍යයක් නොවෙයි. නමුත් අපේ රටේ ස්වාධීනත්වයට හානි නොවන දේවල් මොනවද හානිවෙන දේවල් මොනවද බැලිය යුතුයි. පැහැදිලිවම රටේ ස්වාධීනත්වයට සෘජුවම හෝ වක්‍රව හානිවෙන ආකාරයේ දේවල් තිබෙනවා නම් ඒවා ඉවත් කළ යුතුයි. අපි හොර රහසේ ක්‍රියාත්මක වෙලා නෙවෙයි එය පත්කරන්නේ.
බැඳුම්කර වංචාවට සැක කරන අය අත්අඩංගුවට ගන්නයි සූදානම. මේවා මේ මැතිවරණය ළඟ නිසා දාන මාධ්‍ය සන්දර්ශන කියලා සමහරු කියනවා?
කොහෙත්ම නැහැ. මේ ගැන අලුතෙන් අධ්‍යයනය කරලා තමයි ඒ අයව අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිවරයා දැනුම් දුන්නේ. ඊට අදාළ සියලුම දේවල් ඉදිරියේදී නීති ප්‍රකාරව සිදුවේවි.
පාරට බැස්සම මිලිටරි පොලිසියත් රාජකාරි කරනවා දකිනවා. රථවාහන ආඥා පනතට අනුව දඩ හෝ නියෝග දෙන්න හැකියාව තිබෙන්නේ පොලිසියට පමණයි. එහෙම නම් ඇයි රථවාහන හසුරුවන්න මිලිටරි පොලිසියක්?
ඔවුන් දඩ නියම කරන්නේ නැහැ. ඔවුන් රථ වාහන තදබදය හසුරුවා ගන්න සහයෝගයක් දීමයි කරන්නේ. ඔබ වක්‍රාකාරව මගෙන් අහන්නේ රට මිලිටරිකරණය වෙලාද කියලානේ. හැබැයි මේකෙන් එහෙම දෙයක් අදහස් වෙන්නේ නැහැ. පවතින තත්ත්වය යහපත්ව කළමනාකරණය කරගැනීම තමයි මෙතැන වෙන්නේ. නැතිව හමුදාකරණයට ලක්වීමක් නෙමෙයි.
ඒ කියන්නේ ඉදිරියේදීත් හමුදා නිලධාරීන් මෙවැනි කටයුතුවලට දායක කරගන්නවාද?
ලක්ෂ සංඛ්‍යාත හමුදා නිලධාරීන් යුද්ධයකුත් නැතිව නිකම්ම කදවුරුවලට ගාල් කරන එකද හොඳ, එහෙම නැතිව රටේ ශ්‍රම බළකායට සක්‍රියව දායක කර ගැනීමද වඩා හොඳ කියලා හිතලා බලන්න. ලෝකය පුරාම රාජ්‍යයන් මෙවැනි දෑ කරනවා. මේක අලුත් දෙයක් නෙමෙයි.
මහ මැතිවරණයට සූදානම කොහොමද?
සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන අටවැනි මහ මැතිවරණය තමයි මේ එළැඹීමට නියමිත වන්නේ. දැනට පවත්වා තිබෙන මැතිවරණ හතෙන් ලබාගත් ජයග්‍රහණවලට වඩා වැඩි ජයග්‍රහණයක් එළැඹෙන මැතිවරණයෙන් ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා. එය එසේම වෙයි කියන දැඩි විශ්වාසයත් මට තිබෙනවා. නොවැම්බර් 16 පැවැති ජනාධිපතිවරණය දෙස බැලුවාම අපිට අනිවාර්යයෙන්ම ආසන 124-126ක් ලැබෙන බව පෙනෙනවා. නමුත් එජාපයේ පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය බැලුවම ඊටත් වඩා අපිට ලැබෙයි කියලා හිතන්න පුළුවන්. තිබෙන තත්ත්වය අනුව ඔවුන්ට 25%ට වඩා මෙවර අහිමි වෙයි කියලා මම විශ්වාස කරනවා. බහුතරයක් එජාප පාක්ෂිකයන් ඡන්දය දාන්නවත් එන එකක් නැහැ.
ඔබලාගේ සන්ධානය වටා පක්ෂ කිහිපයක්ම එකතු වී සිටිනවානේ. මේ අයට ලැබෙන ප්‍රතිශතාත්මක අගය ගැන මේ වන විට එකඟතාවකට පැමිණ තිබෙනවාද?
පක්ෂ නායක රැස්වීමකට මට සහභාගි වීමට නොහැකි වුණා මම අම්පාරේ වැඩකට සහභාගි වුණු නිසා. නමුත් මම දන්නා තරමින් අපිට ඒ ගැන ලොකු විවාදයක් නැහැ. දැන් ඔය ශ්‍රී ලනිපය 31%ක් ඉල්ලපු කතාව වුණත් මාධ්‍ය වරද්දා ගත්තු එකක්නේ. ඔවුන් ඒ කිව්වේ. නොමිනේෂන්වල දිස්ත්‍රික්ක ප්‍රතිශතය ගැන නෙවෙයි සන්ධානයේ විධායක සභාවේ ප්‍රතිශතය පිළිබඳව තමයි ඔවුන් ඒ කතා කළේ. නාමයෝජනා සම්බන්ධයෙන් අපි ආපු එකඟතාව වුණේ පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂ විය යුතුයි යන්න මිසක් අර විධායක සභාවේ කියපු කතාව නෙවෙයි.
ඔබලාගේ පක්ෂයේ ලකුණ තමයි සන්ධානයේ ලකුණ විධියට භාවිත වෙන්නේ. එහි යම් අවදානම් සහගත බවක් හෝ අවාසි සහගත බවක් නැද්ද?
කිසිම අවදානමක්වත් කිසිම අවාසියක්වත් නැහැ. සන්ධාන ඉතිහාසය තුළ වෙන වෙන ලකුණුවලින්ම තරග කරපු අවස්ථාවත් තිබෙනවා. අපි පොඩි කාලේ අපිට මතකයි 1970 හැදුණු සන්ධානයේදී එක එක පළාත්වල තරග කළේ එක එක ලකුණුවලින්. ඒ නිසා මේක එතරම් තීරණාත්මක කාරණාවක් නෙවෙයි.
ඔබලාගේ කඳවුරෙන් නළු නිළියන් බොහෝමයක් නාමයෝජනා අපේක්ෂා කරන බව පේනවා. මීට පෙරත් පාර්ලිමේන්තු ගියා කලාකාරයෝ වැඩ කළේ නැහැ කියන චෝදනාව ජනතාව එල්ල කරනවා. ඔබේ පෞද්ගලික මතය කුමක්ද මේ ගැන?
නළුවෙක්, නිළියක්, ගායකයෙක්, ගායිකාවක්, ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් කියලා කාවවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. පාර්ලිමේන්තුව කියන්නේ විවිධ සමාජ තීරූන්හි නියෝජනයක්නේ. අපි තෝරගන්න කෙනා මොන තරම් දේශපාලනිකද කියන එක බලන්න තමයි තියෙන්නේ. වේශ්‍යා වෘත්තිය වුණත් මේ කාරණයේදී වැදගත් වෙන්නේ මොනතරම් දේශපාලනිකද කියන එක විතරයි. අදේශපාලනික චරිත ආවොත් ජනතාවගෙන් ලැබෙන්නේ අප්‍රසන්න තීන්දුවක්.
මේ මාස තුන ඇතුළත ඔබට පැවැරුණු අමාත්‍යාංශවල වැඩකටයුතු සාර්ථකව සිදුවුණාද කියලා මම ඇහුවොත්?
මම ඇත්ත වශයෙන්ම තෘප්තිමත්. නමුත් බොහෝදෙනකු හිතාගෙන ඉන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙන්නේ දරුවෝ පාසල්වලට දාන එක විතරයි කියලා. තවත් අය හිතන් ඉන්නවා පත්වීම් දෙන්නයි ගුරුමාරුවීම් දෙන්නයි තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන්නේ කියලා. ඔය වගේ පටු ගෝත්‍රික ආකල්ප ටිකක් ඇතුළේ අධ්‍යාපන අමාත්‍යාංශය හිර කරලයි තියෙන්නේ. මේ ගතවුණු කාලය තුළදී ඉතාම වැදගත් ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන ඒවාට කැබිනට් අනුමැතිය පවා අරගෙන අවසන්. උදාහරණ විධියට ජාතික පාසල් පද්ධතිය පුළුල් කිරීම, පුහුණු ගුරු විද්‍යා පීඨ උපාධි ගුරු විද්‍යා පීඨ බවට පත්කිරීම, Zscore අගය පාසල් පදනම්කොට ගෙන සෑදීම, වාර තුනකින් සමන්විත වුණු පාසල් විභාග වාර දෙකකට ගෙන ඒම වැනි ඉතාමත් සාධනීය වූ යෝජනා රැසකට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් සඳහන් වෙනවා අධ්‍යාපනය දෙස බැලිය යුතු දරුවාගේ මානයෙන් බව. අපේ රටේ මෙතෙක් කල් වුණේ පළාත් සභාවේ විධියට, ඉසුරුපාය විධියට අධ්‍යාපනය දෙස බැලීමට. මෙන්ම මේකයි වෙනස් වෙන්න ඕනා.
ඒ වගේම ජාතික පාසල්වල සිසුන් ඇතුළත් කිරීම් ඉසුරුපාය තබාගත යුතු නැහැ. එය විදුහල්පතිවරයාට භාර දිය යුතු කාර්යයක්. පළමු ශේර්ණියේ ප්‍රවේශය කරන්නේ විදුහල්පතිවරයා නම් ඇයි දෙකේ සිට ඉන් එහාට එම කාර්යය ඉසුරුපාය භාර ගන්නේ. එය අනවශ්‍ය කාර්යයක් විදියටයි මම දකින්නේ. අන්න ඒ වගේ ඉසුරුපාය වටේ පටලවාගෙන ඉන්න බොහෝ අනවශ්‍ය දේවල් අපි ඉවත් කළ යුතුයි. ඇත්තටම දරුවෙක්ව පාසලට ඇතුළු කිරීමට රටක අධ්‍යාපන ඇමැතිගේ අනුමැතිය අවශ්‍යයි කියනවා නම් ඒ රට ගෝත්‍රික රටක් විධියටයි මම දකින්නේ.
ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔබ ප්‍රසිද්ධියේ සමාව ගත්තා. නැවත මෙවැනි දේවල් සිදුනොවේවි කියලා තක්සේරුවක් දිය හැකියිද?
පැහැදිලිවම.
ලංකාවේ ක්‍රිකට්වලට උන්මාදයක් තිබෙනවා. අවාසනාවන්ත කාල පරිච්ඡේදයකින් එළියට එමින් තමයි දැන් තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඩෝරය දැන් ඉවරයි. එදා වුණු ඒ අවාසනාවන්ත සිදුවීම ගැන කතා කළොත් ඒක නොවිය යුතුම දෙයක්. ටිකට් එකක් මිලදී අරන් ක්‍රිකට්වලට ආදරයෙන් එන ක්‍රීඩාලෝලීන්ට මුගුරකින් පහර දී එළවා ගැනීම නොවෙයි විය යුත්තේ. එය ඇත්තටම අසික්ෂිත සිදුවීමක්. මම ඒ වරද කරපු සියලුම දෙනා වෙනුවෙන් ප්‍රසිද්ධියේම සමාව ගත්තා.
අරුණි මල්ලවාරච්චි – mawbima
