Advertise with Giraya
POLITICS

ජනාධිපති පුටුවේ ඉන්නේ ප්‍රාදේශීය සභාවකටවත් ගිය නැති කෙනෙක්…ඔහුට උපදෙස් දෙන්නේ තේ කඩයක්වත් කර නැති වියතුන්

ජනාධිපති පුටුවේ වාඩි වී සිටින්නේ ප්‍රාදේශීය සභාවකටවත් නොගිය තැනැත්තකු වීම හා ඔහුට උපදෙස් දෙන වියතුන් තේ කඩයක්වත් කර නැති අය බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පසුගියදා (04) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය සේනාරත්න මහතා මේ බව සඳහන් කර සිටියා.

එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද කීවේය.

Giraya News Alerts

‘අද වන විට කිසිදාක නොවූ ආකාරයට හාල්, පොල්, පරිප්පු, කිරිපිටි, එළවළු මිල ඉහළ ගිහින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙලා.

අද ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 20කින් අඩුවෙලා. එහි වාසිය සම්පූර්ණයෙන් නැතත් කොටසක් හෝ ජනතාවට ලබාදිය යුතුයි. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයෙත් තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දුන්නේ නැහැ. නමුත් අපේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණ දින 21කින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කර පෙට්රල්, ඩීසල් ගැස්, කිරිපිටි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහන මිලකට ලබා දුන්නා. අපි තෙල් මිල සූත්‍රය ගෙනත් තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දුන්නා. අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා ඉන්ධන මිල රුපියල් 15 කින්වත් අඩු කරන්න කියලා. එය ජනතාවගේ ආර්ථිකයට සෘජුව බලපානවා. ප්‍රවාහන ගාස්තුවට සාපේක්ෂව භාණ්ඩ මිලත් අඩුවීමෙන් ජනතාවට කිසියම් සහනයක් ලැබෙනවා.

රනුග්ගේ වාර්තාවේ නිර්දේශ අනුව රජය අපේ සේවක වැටුප් විෂමතා ඉවත් කළා. ඒ අනුව ඔවුන්ට රුපියල් 3000 සිට රුපියල් 23,000 දක්වා වැටුප් වැඩි කළා. ඊට අදාළව අවශ්‍ය මුදල් අපේ ආණ්ඩුව වෙන්කළා. විධායක නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් ලබා දුන්නා. ඒ සඳහාත් අවශ්‍ය මුදල් වෙන් කළා. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කර 2017 සිට 2019 දක්වා විශ්‍රාම ලැබූ අයගේ විශ්‍රාම වැටුප් වැඩි කළා. ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප හා ඔවුන්ගේ මාසික වැටුප යන දෙකම ලබා දුන්නා. තරුණ ප්‍රජාවට ව්‍යාපාර සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය වැඩ සටහන්වලට රුපියල් බිලියන ගණනින් මුදල් වෙන් කළා. ඒවත් අත්හිටුවලා.

මේ ආණ්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා ජනතාවට සහන සලසන්න අවශ්‍ය මුදල් ලබා ගන්න විපක්ෂය ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක අමූලික බොරුවක්. ජනතාවට සහන සලසන්න හා සංවර්ධන කාර්යයන් සඳහා අපේ සහාය දෙන බවත් තවදුරටත් ණය ගැනීම සඳහා ණය සීමාව ඉහළ දැමීමට කිසිසේත් එකඟවිය නොහැකි බවත් අප පැවසුවේ. මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ. එහෙම පිරිසකට යළිත් බලය දෙනවද, යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරමින් ජනතාවට සහන සැලසූ ආකාරයට තවදුරටත් ජනතා සුබ සාධනය සඳහා එජාපය මූලික වූ ආණ්ඩුවක් යළි පත් කර ගන්නවාද කියන තීරණය ගැනීම ජනතාව සතු වගකීමක්.’

මීට අමතරව, යහපාලන ආණ්ඩු සමයේ ජනතාවට ලබා දුන් සෞඛ්‍ය පහසුකම් වත්මන් ආණ්ඩුව කපා දමා ඇති බවත්, රෝහල්වල අද ඖෂධ වර්ග 400 කට අධික ප්‍රමාණයක හිඟයක් ඇති බවත් එයින් වර්ග 280ක් පිළිකා රෝග, හදවත් රෝග ඇතුළු රෝගී තත්ත්වයන්ට අත්‍යවශ්‍ය ඖෂධ බවත් ජනතාවට යහපාලන ආණ්ඩුව ලබාදුන් සෞඛ්‍ය පහසුකම් අප්‍රේල් 3 වැනිදා දක්වා ලබාදීමට අවශ්‍ය මුදල් වෙන්කළද එම මුදල්වලට සිදු වූ දෙයක් දැනගන්නට නැතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

පසුගිය ආණ්ඩු සමයේ බෙහෙතක් දෙකක් අඩු වූ විට ඝෝෂා කළා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මීයට පිම්බාක් මෙන් අද නිහඬව ඇත්තේ ඔවුන් වෛද්‍ය වෘත්තිය දේශපාලනය වෙනුවෙන් වෙන්දේසියේ දැමීම නිසා බවද හෙතෙම පෙන්වා දෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top