Advertise with Giraya
NEWS

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

කොරෝනා ආසාදිතයින් ලෙබනනය තුළින්ද වාර්තාවීමත් සමඟ ලෙබනනයේ සිටින ශී‍්‍ර ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට එරට පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය තත්ත්වය හා ආරක්‍ෂාව පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් පසුවන ලෙසයි ලෙබනන්හි වෙසෙන සියළුම ශී‍්‍ර ලාංකිකයින්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා ඇත්තේ.

එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් පවතින්නේ නම් හෝ ඊට අදාළ රෝග ලක්‍ෂණ මතුවී ඇත්නම් වහාම ළඟම ඇති රෝහලකට යාමට හා වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසටද දන්වා තිබෙනවා.

මීට අමතරව ලෙබනන්හි සිටින ශී‍්‍ර ලාංකිකයින් හට පවතින තත්ත්වය පිළිබද දැනුම් දීමට සහ ශී‍්‍ර ලාංකිකයින්ට උපදෙස් ලබා ගැනීමට මේ වන විටත් පහසුකම් සලසා ඇතැයි තානාපති කාර්යාලය පවසනවා.

ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් රැසක් මේ වනවිට ද ලෙබනනයේ රැකියාවල නිරත වනවා. එලෙස ශී‍්‍ර ලාංකිකයින් බහුතරයක් වෙසෙන ජපානය, දකුණු කොරියාව සහ ඉතාලියේද කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෙබනනයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 13 ක්. ඊට අමතරව ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍ය, කුවේට්, බහරේන් සහ ඊශ‍්‍රායලය යන රටවලින් මේ වනවිටත් කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කි‍්‍රයාකාරී කමිටුව අද (04) දිනයේද රැස්වීමට නියමිතයි.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට ගුවන් සහ නැව් මගින් මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ලක් කිරීමට මේ වනවිට තීරණය කර ඇත.

පවතින තත්ත්වය සළකා දෛනිකව කි‍්‍රයාකාරී කමිටුව රැස්වී වෛරසය මෙරටට ඇතුළුවීම පාලනයට කඩිනම් පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ කොරෝනා වෛරසය මෙරටට පැමිණියහොත් එය ජාතික ආපදා තත්ත්වයක් විය හැකි බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top