Advertise with Giraya
SPORTS

එළඹෙන T20 තරඟ ප්‍රදීප්ට හා ධනංජයට අහිමි වෙයි

හෙට (04) ආරම්භ වීමට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරඟ 2කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ එම ක්‍රීඩකයින් දෙදෙනා පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අබාධයන්ට ලක් වූ බැවිනි.

මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවසුවේ “තෙවැනි එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී නුවන් ප්‍රදීප් කලව ප්‍රදේශයේ (Hamstring) ආබාධයකට ලක්වුණා. වෛද්‍ය නිර්දේශය අනුව ඔහුට සති 6ක කාලයක් ඉන්න වේවි. එම නිසා විස්සයි-20 සංචිතයෙන් නුවන් ප්‍රදීප් ඉවත් කිරීමට අපට සිදු වුණා.” යනුවෙනි.

Giraya News Alerts

තවද ධනංජයගේ ආබාධය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා පැවැසුවේ මෙවැන්නකි. “ධනංජයගේ අතේ පොඩි ගෙඩියක් තිබුණා. සමහර විට ඔහුට ශල්‍යකර්මයක් කරන්න සිදුවේවි. එංගලන්ත සංචාරයේදී ඔහු ගැන අවදානමක් ගන්න බැරි නිසා වෛද්‍ය නිර්දේශය අනුව එංගලන්ත සංචාරය සඳහා ධනංජය යොදා ගන්නවාද නැද්ද යන්න තීරණය කරනවා. එංගලන්ත සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්. එම නිසා වෛද්‍ය නිර්දේශය ලැබෙන තෙක් අපට බලාගෙන ඉන්න සිදුවෙලා තියෙනවා” යනුවෙනි.

මෙහිදී ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් සිදුවන ආදේශ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මෙල් මහතා කියා සිටියේ කසුන් රාජිතද ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් විස්සයි විස්ස තරඟාවලියේ දී නුවන් ප්‍රදීප්ගේ ස්ථානයට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යොදාගෙන ඇති බවයි. තව ද ධනංජයගේ ස්ථානය සඳහා කිසිදු ක්‍රීඩකයකු ආදේශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද මෙල් මහතා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top