Advertise with Giraya
NEWS

පාර්ලිමේන්තුව එළඹෙන සඳුදා දින විසුරුවයි

අටවන පාර්ලිමේන්තුව එළඹෙන සඳුදා දින (2දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවා හැරීමට නියමිත බවත් ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිතව ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වනු ඇත.

භාරකාර ආණ්ඩුව යටතේ බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමැතිවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රාජ්‍ය ඇමැතිවරුන්ගේ තනතුරු ඒ අනුව අහෝසි වනු ඇත.

Giraya News Alerts

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වැනිදා විසුරුවා හැරෙන බැවින් ඉන් පසු සියලුම තේරීම්භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරු ලබන 5 වැනිදා කොළඹට කැඳවීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

මැතිවරණය පැවැත්වීමේදී, ඒ ඒ දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතු සිදුකිරීමේදී මුහුණපාන ගැටලු හා ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැඩිකළ යුතු දිස්ත්‍රික්කයන්හි එම කටයුතු සිදුකෙරෙන ආකාරය, නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමේදී මුහුණපාන ගැටලු සහ පසුගිය ජනාධිපතිවරණයේදී මුහුණ පෑ ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වුවහොත්, මනාප ඡන්ද ගණන් කිරීමේදී වැඩි කාලයක් ගත කිරීමට නියමිත බැවින්, එම කාලය අවම කරගැනීම කෙරෙහිද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන්ට, නාමයෝජනා භාරගනු ලබන දිනයේ අවසාන මොහොත දක්වාම ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

පාර්ලිමේන්තුව මාර්තු 2 වැනිදා විසුරුවා හැරියහොත්, එදින සිට 14 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගනු ලබන බවත්, කිසිදු හේතුවක් මත තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ නොකරන බවත් දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලබන දිනයේ සිට දින 52ත් 66ත් අතර ඡන්ද විමසීම පැවැත්විය යුතු වන බව සඳහන් කළ මහින්ද දේශප්‍රිය මහතා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තුව විසුරුවා දින පනස් දෙකකදී පැවැත්වීමට හැකිවූ බවද, දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර රාමසාන් උපවාසයට බාධාවක් නොවන අයුරින් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25දා පවත්වන ලෙස මුස්ලිම් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී එම ඉල්ලීම කර ඇති මුස්ලිම් දේශපාලන පක්ෂ, මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්ගෙන්ද ඉල්ලීමක් කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top