ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට දිනපතා රාජ්‍ය ආයතන උද්ඝෝෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණෙන බැවින් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවට උද්ඝෝෂකයන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩලයට සිදුව තිබෙන බවත් අවසානයේදී උද්ඝෝෂණ කණ්ඩායම්වල වගකීම අදාළ අමාත්‍යාංශ විසින් භාරගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රේගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වු ආයතන ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයට අද (28) එක්වීමෙන් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
රාජ්‍ය ගිණුම් කාරක සභාව 2018 වර්ෂයේදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 844ක් ඇගයීමට ලක්කර ඇත. ඉන් තෝරාගත් රාජ්‍ය ආයතන 109කට සම්මාන පිරිනැමිම එහිදී සිදුවිය. එහිදී රන් සම්මාන 55ක්, රිදී සම්මාන 23ක් හා සම්මාන සහතික 31ක් ප්‍රදානය කරනු ලැබූ අතර විශිෂ්ටතා දැක්වූ ආයතන වෙත රන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය සේවකයින් නීතියෙන් බැඳ තැබීම නොවන බවත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ මුල්‍ය අධීක්ෂණයට ලක් වන සියලු රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ඇගයීම සිදු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා. මෙම ඇගයීම් සඳහා ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නාවලියද යාවත්කාලීන විය යුතු බවත් පුද්ගලික අංශය සිය ආයතන මෙහෙයවීමේ දී අනුගමනය කරන ක්‍රමවේද ආදර්ශයක් ලෙස ගැනීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
