අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතිවරයා පත් කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ. දොම්පේ කෑරගල පරකඩමුල්ල ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ අදහස් පල කර තිබේ.
අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
සන්ධානයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා පත්කිරීම පිළිබඳ විරෝධයක් තිබේදැයි මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පවසා ඇත.
“ඔව් මම විරුද්ධයි. පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා. මම පහුගිය කාලෙම සටන් කලේ අපි පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕන. මොන සන්ධාන හැඳුවත් සම නායකයෝ ඉන්න බෑ. අසම සම නායකයා මහින්ද විතරයි කියලයි. ඒ දෙකම හරි ගියා. අද රටේ මතයක් හැදීලා තියෙනවා මෛත්‍රීට සන්ධානයේ සභාපතිකම දුන්නට මේ සභාපතිකම නිකං පියන් කමක් වගේ. මේ සන්ධානයේ නායකයා මහින්ද මහත්තයා. අස්වනු රැක ගන්න කුඹුරක පඹයෙක් හිටවන්න ඕන. අපේ ඡන්ද ප්‍රමාණය රැකගන්න නම් සමහර විට පඹයෙක්ව හිටවන්නත් වෙයි මේ උනෙත් ඒක වෙන්න පුලුවන්. කොහොම වුනත් අපිට ශ්‍රීලනිපය එක්ක ප්‍රශ්ණයක් නෑ. අපිට සන්ධාන ගහන්න පුලුවන්. හැබැයි 2015 රටම පාවා දුන්න නායකයෙක් අද සුදන වගේ මේකට එන්න හදන කොට ඒකට විරෝධයක් තියෙනවා. මේකෙදි අපට සාධාරණ සැකයක් තියෙනවා සන්ධානයට ඇවිල්ලා ආණ්ඩුව පිහිටෙව්වාම කඩාගෙන යයිද කියලා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.” යැයි අමාත්‍යවරයා පැවසීය.
